බූස්ස බන්ධනාගාරයෙ පොඩි ලැසීගෙ කුටියෙන් කිලෝ පහක මේක්අප් සෙට් එකක්

Podi-Lesi

පොඩි ලැසී ගාල්ල උසාවියට පැමිණෙන අයුරු

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇප ලැබුණු පොඩි ලැසී රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යෑම සඳහා බූස්ස බන්ධනාගාරයට ගිය නිලධාරීන්ට   කිලෝ පහකට ආසන්න බරකින් යුතු රූප ලාවන්‍ය උපකරණ පෙට්ටියක් ඔහුගේ කුටිය තුළ තිබී හමු වී ඇත.
උසාවියට පැමිණෙන දවසට මනා ලෙස සැරසී, රැවුල් කොණ්ඩ සකසා, මේකප් කර, සුදු ඇඳුමක් ඇඳගෙන සුදු සපත්තු දෙකක් දමාගෙන,  ඉන්දියානු නළුවෙක් සේ පෙනී සිටීම ඔහුගේ පුරුද්දක් වී තිබිණි. ඒ රූපවාහිනී හා පුවත් පත් වාර්තා කරුවන්ගේ කැමරාවලට වඩාත් පැහැපත්ව නිරාවරණය වීම සඳහාය.
ඊයේ (16) ඔහු  වෙනුවෙන් ජනාධිපති නීතිඥ ටිරන් වලලියද්ද ප්‍රමුඛ නීතිඥ පිරිසක් පෙනී සිටියහ.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරීස්   ඇප දීමට දැඩි විරෝධය පළ කළේය. මෙම සැකකරු හා තවත් අපරාධකරුවන් 11 දෙනකු එක්වී තම සහචරයන් ද යොදා ගෙන සුවිශේෂී ඝාතන කුමන්ත‍්‍රණයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව ද දිලීප පිරිස්   අධිකරණයේ කරුණු දක්වමින් සඳහන් කළේය.
එස්.ටී.එෆ්. ලොක්කා ඇතුළු එස්. ටී. එෆ්. නිලධාරින්ට අත් බෝම්බ ගසා මරාගෙන මැරිය යුතු බවත් එවිට තමන් ඉතිහාසගත වන බවත් මෙම සැකකරු විසින් ප‍්‍රකාශ කර ඇති බව ද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණය ඉදිරියේ සඳහන් කළේය. පාතාලය සුරතල් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බව ද මෙකී සැකකරුට එරෙහිව මිනීමැරුම් ඇතුළු නඩු ගණනාවක් ගාල්ල හා බලපිටිය, කොළඹ යන අධිකරණවල විභාග වෙමින් පවතින බව ද පැවසීය.
ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට මරණීය තර්ජනය කර ඇති බවට පැහැදිලි සාක්ෂි තිබෙන බවත් මෙය සුළුවෙන් සැලකිය යුතු කාරණයක් නොවන බවත් සඳහන් කළ දිලීප පීරිස්   මෙය අතිශය බරපතළ තත්ත්වයක් බව කීවේ ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම් ඉන්නේ අවුරුදු 05ක් නිසා බැවින් ඉන් පසු බලා ගන්නම් කියා තිබෙන නිසා යැයි   අධිකරණය ඉදිරියේ සඳහන් කරමිනි. මෙවන් අපරාධ කරුවන් නිදහසේ ඉඳීම නිසා පොට්ට නවුෆර් වැනි අපරාධකරුවන් අතින් සරත් අඹේපිටිය නිසුරුවරයා   ඝාතනය වූ ඉතිතහාසයක් ඇති බව දිලීප පීරිස් තව දුරටත් කීවේය.
විත්තිකාර ‘පොඩි ලැසී’ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද  සඳහන් කළේ පොට්ට නවුෆර් වෙනුවෙනුත් අධිකරණයේ පෙනී සිටියේ තමා බවය.  මෙය තර්ජනය කිරීමක් හා රාජකාරිය බාධා කිරීමක් නිසා ඇප ලබාදිය හැකි බවයි. බී වාර්තාවේ කොතනකවත් ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට මරණීය තර්ජනය කළ බවක් සඳහන් නොවන බව ඔහු පෙන්වා දුන්නේය. මෙම නඩුවට අදාළව ඇප ලබා නොදීමට කිසිදු හේතුවක් නොමැති බවත් ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේය.
සැකකරුට එරෙහිව මෙම නඩුවේ තිබෙන්නේ චෝදනා 02ක් බව සඳහන් කළ ජනාධිපති නීතීඥවරයා එය තර්ජනයක් හා රාජකාරියට බාධා කිරීමක් බව ද පැවසීය. මොහු දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බවත් මොහුගේ ජීවිතයට යම් තර්ජනයක් වුවහොත් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එය භාරගත යුතු බව ජනාධිපති නීතිඥ ටිරාන් වලලියද්ද   අධිකරණය ඉදිරියේ සඳහන් කළේය.
ඒ අනුව පොඩි ලැසීට ඇප ලැබුණේය. ලක්ෂ දහයක ශරීර ඇප 4ක් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක්, විදෙස් ගමන් තහනමක්, සහ රැඳවුම් නියෝග අවසන් වූ පසු සෑම මසකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝග කළේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කලින් අයදුම් කළ රැඳවුම් නියෝග යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ අවසරය ලැබී තිබිණි.
මේ වනවිට ඔහු සම්බන්ධ විවිධ විමර්ශන කටයුතු පවත්බවාගෙන යන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

Exit mobile version