බදියුදීන්ගෙ නිවසේ දී පිලිස්සී මළ දැරියගේ දූෂණයට ලක් වූ අතීතයක් හෙළිවේ …

අවුරුදු 12 සිට දූෂණයට ලක් වෙලා... බදියුදීන් ඇයව මෙහෙකාර සේවයේ යොදවන්නෙ රටේ නීතිය උල්ලංඝණය කරලා..

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ මෙහෙකාර සේවයේ යොදවා සිටිය දී පිළිස්සී මිය ගිය බාල වයස්කාර දැරිය දූෂණයට ලක් වූ අතීතයක් ඇති බවට තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මෙම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පොලීසිය තවදුරටත් විමර්ශන සිදුකරන බවය.

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියගිය දැරියට දීර්ඝ කාලයක සිට දූෂණයට ලක්වෙමින් සිට ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ. වයස අවුරුදු 12 වැනි කාලයක සිට අඛණ්ඩව මේ දැරිය දූෂණයට ලක් වී ඇති අයුරුත් ශරීර ලක්ෂණ අනුව ඇය වයස අවුරුදු තිහක පමණ ස්වරූපයක් පෙන්වන අයුරුත් අධිකරණ වෛද්‍ය වාර්තාවේ නිරීක්ෂණය වී ඇත.


කෙසේ වෙතත් මෙහෙකාර සේවයට පැමිණි පසු මෙම දැරිය දූෂණය  වූ බවට සාක්ෂියක් හෝ පිලිස්සුම් තුවාල සිදුවූ පැය 24 තුළ දූෂණය වී ඇති බවක් තහවුරු නොවන බව ද එම වාර්තාවේ දක්වා තිබේ.

ඩයගම ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම 16 හැවිරිදි දැරිය බදියුදීන්ගේ නිවසේ මෙහෙකාරකමට යොදවා ඇත්තේ වර්ෂ 2020 ඔක්තෝබර් මාසයේ සිට බව වාර්තා වේ. එසේ රැගෙන එනවිට එම දැරියගේ වයස අවුරුදු 15යි මාස 11ක් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

රටේ නීතිය ප්‍රකාරව වයස අවරුදු 16ට අඩු කිසිම දරුවෙක් මෙහෙකාර සේවයේ යෙදවීම නීතියෙන් තහනම් මෙන්ම එම දරුවන් නිශ්චිතව අධ්‍යාපනය වෙත යොමු කළ යුතුව තිබිය දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම දැරියව මෙහෙකාර සේවයේ යොදවා තිබේ. මේ සම්බන්ධව නීතියෙන් කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම බාල වයස්කාර දැරිය බොරැල්ල පොලිස් වසමේ බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ නිවසේ සේවය කරමින් සිටිය දී ඉකුත් ජුලි 3 වනදා පිළිස්සුම් තුවාල සහිතව ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රතිකාර ලබමින් සිටි එම දැරිය පෙරේදා (15) මිය ගියේය. බොරැල්ල පොලීසිය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය අදාළ විමර්ශන සිදුකරයි.

Exit mobile version