“බඩු මිල දරාගන්න බෑ… අපට බඩගිනියි…“ ආදිවාසීන් උද්ඝෝෂණයක…

ආදිවාසී පවුල් විරෝධතා දැක්වූ අවස්ථාව...

මනම්පිටිය  නිමල් ජයරත්න-

ඉන්ධන මිල ඉහළ යෑමෙන් දිනෙන් දින ඉහළ යන බඩුමිල හේතුවෙන් තමන්ට ජීවත්වීමට අසීරු බව පවසා ඉතා කඩිනමින් ඉන්ධන මිල හා බඩුමිල පහළ දමන ලෙස බලකරමින්  දිඹුලාගල දලුකාන ආදිවාසී නායීකාව වන කේ. ලිසිනෝනා   ඇතුළු  තවත් ආදිවාසී පවුල් හතක් සහ ඔවුන්ගේ දරුවන්  අද ( 28 )   උදෑසන 7 ට පමණ  දලුකාන ශ්‍රී පෞරාණික පත්තිනි දේවාලය අසල විරෝධතාවක නිරත වූහ.
රජය ඉන්ධන මිල හා බඩු වල මිල ඉහළ දැමීම නිසා දලුකාන ගම්මානය මෙන්ම, යක්කුරේ, මිල්ලාන, කොළකනවාඩිය,  බෝඅත්ත කුඩාවැව, ඇල්ලේවැව, ඇතුළු ගම්මාන වල ජීවත් වන ආදිවාසි පවුල්  800  ක් පමණ මහත් පීඩාවට පත්ව ඇති බවද දලුකාන  ආදිවාසී නායකා කේ ලිසීනෝනා   සඳහන් කළාය.
දලුකාන  ගම්මානයේ පවුල් 450 ක් පමණ ජීවත් වන බවත් ඉන්න පවුල් දෙසීයකට ආසන්න පිරිසක් ආදිවාසී පවුල් බවත්, ඒ අතරින් ද පවුල් 100ක් පමණ ජීවත්වීමට කිසිදු ආදායම් මාර්ගයක් නොමැති අතර  බොහෝ දෙනකු කුලී කරමින් ජීවත් වන බවත්,  කිසිදු ආදායමක් නොමැතිව  දිනකට වේලක් පමණ ආහාර ගන්නා පවුල් දහයක් පමණ සිටින බවත් ඇය කීවාය.  ඔවුන් සඳහා ය  සහන බඩු මල්ලක්වත් ලබා දෙන ලෙස ද ආදිවාසී නායිකාව වැඩිදුරටත් ඉල්ලා සිටියාය.
එම් ආදි වූ ආදිවාසී  පවුල් අතරින්   කීපදෙනෙකු දිඹුලාගල කන්දේ මී කඩා පැණි විකුණා ජීවත් වූ අතර තවත් පිරිසක්, කටු අල හාරා, ගල් සියඹලා විකුණා ජීවත් වූ බවත්, එම් ජීවනෝපාය මාර්ගය ද තම වර්ගයාට අහිමි වී ඇති බව ද ඇ‍ය සඳහන් කළාය.
ඉන්ධන මිල හා බඩු මිල ඉහළ යෑමෙන් තම ආදි වූ ආදිවාසී පවුල්වලට අත්ව ඇති තත්ත්වය පිළිබඳ ආදිවාසීන් නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් දැනුවත් ක් කිරීමට කටයුතු යොදා ඇති බව ද කේ.ලිසිනෝනා  පැවැසුවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම විරෝධතාවය විනාඩි 30ක පමණ කාලයක් පැවති අතර අනතුරුව ඔවුන්  දලුකාන ශ්‍රී  පෞරාණික පත්තිනි දේවාලයට ගොස් ජීවන වියදම  පහල දැමීමට රජයට සිත් පහළ වේවා කියා ආශිර්වාද කරමින් දේවකන්නලව්වක් ද සිදුකර  විසිර ගියහ.

Exit mobile version