පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටු මන්ත්‍රීවරු නිරුත්තර කළ පොලිස්පතිගේ හෙළිදරව්ව…

ගිනි ගත් නිවෙස් ඇති පොලිස් වසම්වල පොලිස් ප්‍රධානීන් පත් කරගෙන ඇත්තේ එම දේශපාලකයින් විසින්මයි....

පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ  නිවාසවලට ගිනි තබා දේපලවලට හානි කළ සෑම පොලිස් වසමකටම පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් පත් කරගෙන ඇත්තේ එම දේශපාලකයින් විසින්ම බවත්,  තමන්ටත් බලපෑම් කර මෙම පත්වීම්  කරගන්නා විට හදිසි අවස්ථාවක දී මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවට තමන් වාර්තාවකින්ම  මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් හරහා රජයට යොමු කර ඇති බවත්  පොලිස්පතිවරයා ඊයේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ට පවසා තිබේ.

පොලිස්පතිවරයා මේ බව පවසා ඇත්තේ ඊයේ ජනාධිපතිවරයාගේ නියමයෙන් පොහොට්ටු පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමට පැමිණි පසු  වියරු වී පොලිස්පතිවරයාට  බැණ වැදුණු පොහොට්ටු  මන්ත්‍රීවරුන්ගෙන්  විනාඩියක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා ලබා දුන් පිළිතුරුත්  සමග සියලු දෙනා කසාය බිවූ ගොලුවන්ගේ තත්ත්වයට පත් වූ බව එම අවස්ථාවට එක් වූ පොහොට්ටුවේම  දේශපාලන ආරංචි මාර්ග    ලංකාසරට පැවසුවේ

පොලිස්පතිවරයා තමන්ට චෝදනා කළ සෑම මන්ත්‍රීවරයෙකුටම  දත්ත සමග පිළිතුරු  දී තිබුණු බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

තමන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් චොදනා එල්ල කළ  රමේෂ් පතිරණගෙන්    පොලිස්පතිවරයා විමසා ඇත්තේ කොට්ඨාස භාර පොලිස් නිලධාරියා ලෙස මෙම තැනැත්තා පත් කරගන්නා විට ඔහු ඊට නුසුදුසු බව දන්වා සිටියත් ඔහුම අවශ්‍ය බවට බලපෑම් නොකළේද යන්නය.  ප්‍රසන්න රණතුංගට ඇතුළු බැණ වැදුණු සෑම මන්ත්‍රීවරයෙකුටම  පොලිස්පතිවරයා   පිළිතුරම ලබා දී තිබිණි.


පොලිස්පතිවරයා පවසා ඇත්තේ පොලිස් වාර්තාවක් ලියාගන්නට බැරි, කිසිම වගකීමක් භාරගෙන මැදිහත්වීමක් කිරීමට පෞරුෂයක් නැති  පුද්ගලයින් තමාගේ විරෝධය නොතකා පත් කරගෙන ඇතිකරගත් මේ තත්ත්වයට හුදකලාව තමන් වගකිවයුතු ද යන්නය.

එමෙන්ම පොලිස්පතිවරයා  පවසා ඇත්තේ තමන්ගේ අධීක්ෂණය යටතේ නිසි සුදුසුකම් මත පත් කළ ප්‍රාදේශීය පොලිස්  ප්‍රධානීන් සිටින කිසිම තැනක මෙම තත්ත්වය උද්ගත වී නොතිබුණ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ කරුණු පැහැදිලි කිරීමෙන් පසු පොහොට්ටු මන්ත්‍රීවරුන් සියලුදෙනාම නිශ්ශබ්ද වූ බව එම ආරංචි මාර්ග කීවේය.

Exit mobile version