පුරාවිද්‍යා නිලධාරින් පිරිසක් වංගු ගසා ජනාධිපතිගෙන් සම්මාන ගත් හැටි හෙළි වේ..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙතෙක් ජාතියට වසන් වී තිබූ ප්‍රාග් ඓතිහාසිකය යුගයට අයත් චිත්‍ර අක්ෂර සමූහයක් අලුතින් සොයා ගත් බව වාර්තා කරමින් ජාතික පුරාවිද්‍යා දිනයේ දී ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතින් විශිෂ්ට කැපවීම හා පුරාවිද්‍යාවට කළ සේවය සඳහා සම්මාන ලබා ගත් නිලධාරීන් පිරිසක් තමන් කළ නව සොයා ගැනීම් ලෙස ඉදිරිපත් කර ඇත්තේ වසර ගණනාවකට පෙර ගවේෂණය කර හඳුනාගැනීමෙන් අනතුරුව ගැසට් කර තිබූ පුරාවිද්‍යා භූමිවල පැවති සිතුවම් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

පොලොන්නරුවේ පුරාවිද්‍යා නිලධාරිවරයෙක් දෙවනගල ප්‍රදේශයේ කරන ලද ගවේෂණයක දී ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් චිත්‍රාක්ෂර පන්තියක් සොයාගෙන ඇත.

මේ සොයාගැනීම වාර්තා කිරීමට යෑමේ දී ඒ සමග තවත් පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් තමන් කවුඩාගල සහ කොනත්තේගොඩ පුරාවිද්‍යා ස්ථානවලින් ද නව චිත්‍රාක්ෂර සොයාගත් බව වාර්තා කර තිබේ. ඒ අනුව මෙතෙක් ජාතියට වසන් වී තිබී සොයාගත් බවට වාර්තා කළ නව සොයාගැනීම් වෙනුවෙන් කළ කැපවීම ඇගයීම සඳහා නිලධාරීන් දසදෙනෙකු ඇගයීමට ලක් කිරීමට නම් කර තිබේ.

එහෙත් මොවුන් පිරිසක් චිත්‍රාක්ෂර සොයා ගත් බව කී කවුඩාගල ලෙන් පද්ධතිය ආශ්‍රිත පුරාවිද්‍යා භූමිය වර්ෂ 2017.07.03 දින හඳුනාගෙන වාර්තා කර ගැසට් කරන ලද පුරාවිද්‍යා භූමියක් බවත් එහි සෙල්ලිපි වර්ෂ 2018 දී පිටපත් කර ඇති බවත් වාර්තා වේ. එමෙන්ම කොනත්තේගොඩ ලෙන් පද්ධතිය ද ගවේෂණය කර වාර්තා කිරීමෙන් අනතුරුව ගැසට් කරන ලද පුරාවිද්‍යා භූමියක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තහවුරු කරයි.

කෙසේ වෙතත් අවසානයේ දී දෙවනගල දී සැබෑ ලෙසම නව චිත්‍රාක්ෂර සමූහයක් හෙළිකරගත් නිලධාරියා ඇතුළු පස් දෙනෙක් ජනාධිපතිවරයා අතින් සම්මාන ගැනීම සඳහා ඉදිරිපත් වී නැත.

Exit mobile version