පීසීආර් එනකොට වැඩේ ඉවරයි ! තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගන්න

PCR පරීක්ෂණවල වාර්තා ලැබීමේ ප්‍රමාදයක් පවතින බවත් දැනට ලැබී ඇති වාර්තා මීට දින 9-10කට ඉහත දී ලබාගත් ඒවා බැවින් ඉදිරි සත්වයෝ දැඩි අවදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ මහතා ලංකාසරට පැවසීය.

මේ වනවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇති සම්බන්ධය ගිලිහී ගොස් තිබෙන බව පෙන්වාදෙන උපුල් රෝහණ මහතා ඒ තත්ත්වය මත ජනතාව වහාම ස්වයං පාලනයකට යොමු විය යුතු බව පෙන්වා දුන්නේ ය.

PCR පරීක්ෂණ සහ අනෙකුත් පියවර කඩිනමින් ගන්නා ලෙස තම සංගමය රජයට දිගින් දිගටම කරුණු කීවද මේ වන තෙක් ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගෙන නැති බවට හෙතෙම චෝදනා කළේය.


කොරෝනා රෝගීන් සහ ඒ ආශ්‍රිතව පවතින තත්වය පාලකයින් දිගින් දිගටම වසන් කරමින් සිටින බවත් ඒ තත්ත්වය මත රට දිගින් දිගටම අගාධයට තල්ලු වීමේ බරපතළ අවදානමක් තිබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මේ වන විට රෝහල් වල පවතින දැඩි සත්කාර ඒකක ඇඳන් හා අනෙකුත් පහසුකම් සියල්ල අවසන්ව තිබෙන බවත් ඒ තත්ත්වය උදාවූයේ මීට දින නමයකට දහයකට ඉහතදී බවත් සිදුකළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව නම් වර්තමානය වනවිට සැබෑ තත්ත්වය රට හමුවේ තැබුවොත් එය දෙතුන් ගුණයකින් වැඩිවිය හැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය.

ඊයේ වන විට රෝගීන් 2600ක් හමුවූ බවට රජය ප්‍රචාරය කළත් එම රෝගීන් සහ මරණ සංඛ්‍යාව ලැබී ඇත්තේ මීට දින 10 කට පමණ ඉහත දී කරන ලද PCR පරීක්ෂණ වාර්තා අනුව බව පෙන්වා දෙන ඒ මහතා රජය මේ තත්ත්වය හමුවේ නිහඬව බලා නොසිට ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වහාම පියවර ගත යුතු බව පෙන්වා දුන්නේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට රාජකාරි කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් දිගින් දිගටම කළ ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් නොමැති වීම නිසා අද සිට බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්දින වර්ජනයක් ආරම්භ කර තිබෙන බව අනාවරණය කළේය.

මේ වර්ධනය ඉදිරියෙදී රට පුරා ක්‍රියාත්මක වීමේ අවදානමක් තිබෙන බැවින් සේවය කිරීමට අවශ්‍ය අවම පහසුකම් හෝ ලබාදෙන ලෙස රෝහණ මහතා ඉල්ලා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බදුල්ල දිස්ත්‍රික්කයේ වර්ජනය ගැන සොයාබැලීමට තමන් අද එම දිස්ත්‍රික්කවලට ගොස් නිලධාරීන් සමඟ සාකච්ඡා කොට අදාල පියවර ගන්නා බවද උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

Exit mobile version