පාස්කු ප්‍රහාරයේ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන සොයා බැලිමට පත්කළ කමිටුවේ වාර්තාව සදුදා ජනාධිපතිවරයාට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තාව ලබන සදුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාරදීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (04) මිනුවන්ගොඩ පක්ෂ කාර්යාලයේ පැවැති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකින් අනතරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙම වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව නැවත අධීක්ෂණය කර එය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප්‍රනාන්දු, හා රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම කමිටුව පත් කරනු ලැබිය.


නව කමිටුවේ වාර්තාව පසුගිය 15 වැනිදා භාරදීමට නියමිතව තිබූ අතර වැඩිදුර විමර්ශනය කිරීම සඳහා කමිටුව විසින් තවත් සති දෙකක කාලයක් ලබා ගත්තේය. එම කාලසීමාව පසුගිය තිස් වැනි දායින් අවසන් වූ අතර කමිටු වාර්තාව එළැඹෙන සඳුදා කැබිනට් මණ්ඩලය රැස්වීමට ප්‍රථම කමිටු සාමාජිකයින් විසින් ජනාධිපතිවරයාට ලබා දීමට නියමිතව තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

පාස්කු ප්‍රහාරයට කවදාවත් සාධාරණයක් ඉටු කරන්න බැහැ. මැරුණ මිනිස්සුන්ට කවදාවත් සාධාරණයක් ඉටු කරන්න බැහැ. ඒ වැරදිකරුවන් සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමටත් එවැනි දෙයක් නැවත සිදුනොවීමටත් තමයි ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. පසුගිය රජය මුස්ලිම් නායකයින්ව සතුටු කිරීමට යම් යම් ක්‍රියාමාර්ග ගත්තා. හොඳම උදාහරණය වන්නේ පළාත් සභා මැතිවරණය 50ට 50 දෙන්න කියලා පනත රෑ 8:30 වෙනකම් කතානායකවරයා කල්දාලා කටයුතු කළේ මුස්ලිම් නායකවරුන්ට අවස්ථාව දෙන්නයි. එතකොට කවදාවත් ස්ථාවර පළාත් සභාවක් පිහිටුවන්න බැරි වෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් ඇතැම් මුස්ලිම් මන්ත්‍රීවරුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබන කොට ඒ ගැන කටයුතු කලේ නැහැ. ඒ වෙනුවට මුස්ලිම් නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඒ ගැන හොයන්න පාර්ලිමේන්තු කමිටුවක් දැම්මා. ඒ වගේ දේවල් පහුගිය රජය කළා. නමුත් අපි එවැනි දේවල් කරන්න බලාපොරොත්තුවක් නැහැ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසි කෙනෙක් වගකීමක් භාර ගන්නේ නැහැ. අද රටේ ආර්ථිකය මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ මහ බැංකු හොරකම නිසා රටේ ආර්ථිකය විනාශ වුණ නිසයි. ඒ වගේ දේවල් පහුගිය ආණ්ඩුවේ අය පිළිගන්නේ නැහැ.
රටක් ගොඩනැගීමට අවශ්‍ය සැලසුම ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරෙනවා. අපි බලයට ඇවිත් තාම මාස අටයි. පාස්කු ප්‍රහාරයේ කමිටු නිර්දේශ ඉදිරිපත් කරලා තාම මාස දෙකක්වත් නැහැ. ඉදිරි කාල සීමාව තුළ අපි හරි දේ කරනවා.

Exit mobile version