නුදුරේදීම රටට විදුලිය දී ගන්න ආණ්ඩුවට බැරි වෙනවා..’ මේ ටික දුවාගන්නෙ වැස්සට පින්සිද්ධ වෙන්න..

ආණ්ඩුවේ පවු හෝදන්න වර්ජන කරන්නෙ නැති බව රන්ජන් ජයලාල් කියයි...

කීර්ති ප්‍රනාන්දු –

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන නමුත්   නුදුරේදීම රටට විදුලිය සැපයිය නොහැකි අර්බුදයකට වැටී ඇති  පාලකයින්ට තමන්ගේ සොදා ගන්නට පදනම හදන්නේ නැති බවත් විදුලි වර්ජනයක් තෙක් යෑම සඳහා  අවසාන මොහොත වනතුරුත්   අදහස් නොකරන බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සභාපති  රන්ජන් ජයලාල් ලංකසරට පැවසීය.

ලේකම්වරයා පැවසුවේ මේ වනවිට අවශ්‍ය ගෙවීම් කරගත නොහැකිව ගල් අඟුරු සහ ඉන්ධන හිඟයකට මුහුණ දී සිටින රට මේ තරමට හෝ දුවාගන්නේ වර්ෂාවට පින් සිද්ධවෙන්නට  ලැබෙන ජල විදුලියෙන් බවය.

“ අපි මේ ආණ්ඩුවෙන් ඉතාම සරලව අහන්නෙ ඇමරිකාව එක්ක අත්සන් කළ මේ ගිවිසුම මොකක් ද?. ඒක හෙළි කරන්න බැරි ඇයි?. ඇයි කැබිනට් ඇමතිවරුන්ටත් හොරෙන් මේ ගිවිසුම අත්සන් කළේ කියන කාරණාව. රටට එය හෙළි කරන්න. එය රටට හානිකරනම් අවලංගු කරන්න. එච්චරයි.“


“ආණ්ඩුවේ මේ හැසිරීමට එරෙහිවයි  අපි හෙට (29) දීප ව්‍යාප්ත උද්ඝෝෂණ මාලාවක්   කරනව. ලබන 03 දා රටේ  විදුලිබල මණ්ඩලයෙ  සේවකයො කොළඹ ගෙන්වනවා.  ඊට පස්සේ තමයි අපේ ඉදිරි ක්‍රියාවලිය අපි තීරණය කරන්නෙ.“

“ කොහොමත් වැඩ වර්ජනයක් කරනවානම් අපි ඒකට ඉස්සර වෙන්නෙ නෑ.  ආණ්ඩුවෙ පවු අපි කරගහන්න ඕන නෑ. ඇත්තටම මේ වනවිට ආණ්ඩුවට විදුලිය දීගන්න බැරි තැනකට පත් වෙලා ඉන්නේ.  ගල් අඟුරු සැපයුම් කරුවන් ඩොලර්වලින් ගෙවීම් බලාපොරොත්තු වෙනවා.  ණයට දෙන්න බෑ කියලා කියනවා. ඉන්ධන නෑ.  වහින හින්දා මේ ටික දුවාගන්නෙ ජල විදුලියෙන්. ඒ පව අපේ පිටින් යවන්න වැඩ කටයුතු කරන්නෙ නෑ අපි.“

“ අපි වැඩ වර්ජනයකට යනවා  නම් ඊට ජනතා සහයෝගය අවශ්‍යයයි. මේ වනවිට අපි මේ ආණ්ඩුව බලයට ගෙනාව සිවිල් ක්‍රියාකාරිකයින්ව දැනුම්වත් කරනවා අපිව වර්ජනයකට තල්ලු කරන්න එපා.  එහෙම තල්ලු කරලා අපට බැණ බැණ   මාධ්‍යයට ප්‍රකාශ දෙන්න එපා. මේ තත්වය ආණ්ඩුවට තේරුම් කරලා දෙන්න. දීලා මේ තත්වය වළක්වන්න. මහානායක හාමුදුරුවරු ඇතුළු ආගමික නායකයින් හමුවෙලා මේ වනවිට අප උන්වහන්සේලා දැනුම්වත් කරමින් ඉන්නේ. “

“කන්න ටිකත් නොමැතිව අසරණ වී සිටින ජනතාව විදුලිය නැතිකර තවත් අසරණ කිරීම කිරීමේ කිසිම අදහසක් නෑ. ඒත් ඒ පීඩාවට මේ රටේ මිනිසුන් ඇද දමනවා ද නැද්ද ඇද දමනවා නම් ඒ පැය 48කට ද, 72 කට ද, ඊටත් වඩා වැඩි කාලයකට  ද   යන්න තීන්දු කළ යුත්තේ ආණ්ඩුවයි.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සභාපතිරන්ජන් ජයලාල් කීවේය.

 

Exit mobile version