නිවසේ සිරකරගෙන සිටින මනමාලයා ඉල්ලා මංගල ඇඳුමින් පොලිසියට පැමිණි මනමාලියක

කීර්ති ප්‍රනාන්දු –

මිනුවන්ගොඩ පොලිසියට අද (14) මනමාලියෙක් පැමිණියාය. මගුල් ඇඳුම පිටින් පැමිණි ඇය සිටියේ ඉකි ගසමිනි.

උඩරට මංගල ඇඳුමින් සැරසී තැලි පිළි පැළඳගෙන  හිමිදිරියේ අඬාගෙන පැමිණෙන මනමාලිය නැවතුනේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලඟය.

“ අනේ මිස්… අපි සෑහෙන දවසක ඉඳන් ප්ලෑන් කරලා  අපේ මැරේජ් එක දාගෙන තිබුණෙ අද. අපි ගෙයක් කුලියට ගත්තා. මගෙ බඩු මුට්ටු ගෙදර ඇද්දා.  අද 8.50ට  කසාදෙ රෙජිස්ටර් කරන නැකත තියෙන්නෙ.  ගෙවල්වලින් කැමති නෑ  අපි බඳිනවට.   එයාව ගෙදරින්  හිරකරන් ඉන්නවා. අනේ පින් සිද්ධ වෙයි. එයාව 8.50 නැකතට කලින් මට ගෙන්නලා දෙන්න…“

මනමාලිය ඉකි බිඳිමින් කියන්නේ මනමාලයා ඔහුගේ නිවසේ සිරකරගෙන සිටින බවය.


“සතියක් පිලී පිලිහුඩු කන්නෙ නැතිව පේවෙලා මේ කැන්ඩියන් ඇන්දෙ….“ ඇය ඉකිබිඳින්නීය.

මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී උප පොලිස් පරීක්ෂක රමණී මාස්කෝරාලය. ඇය මේ තරුණියට ඇහුම්කන් දී සිටියා.

ඇය ඉකි ගසමින් සියලු විස්ර කීවාය.  ඇය 19 වියැති තරුණියකි. පුද්ගලික ආයතනය රැකියාව කරන්නීය.  ඇයගේ සහකරුවාත් විසි විය නොයික්මවූ තරුණයෙකි. ඔහු ස්ථිර රැකියාවක් සහිත කාර්මික ශිල්පියෙකි.

නිවෙස්වලින් මේ විවාහයට හොඳටෝම විරුද්ධය.  ‍ඒ නිසා මගුල් දිනයේ දී  මනමාලයාගේ දෙමාපියන් හා ඥාතීන්  එක්ව  ඔහුව නිවසේ කාමරයට දමා සිර කර තබාගෙනය.

මිනුවන්ගො පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පිට ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය විභාගය ආරම්භ  කළාය. මුලින්ම තරුණයාගේ නිවසට දුරකථන ඇමතුමක් ලබා දුන්නාය.

“ කවුද ගෙදර ළමයෙක් හිර කරගෙන ඉන්නෙ. පැමිණිල්ලක් තියනවා. වහාම ඔය හිර කරගෙන ඉන්න තරුණයත් එක්ක පොලිසියට එන්න..“

එය නියෝගයකි. ටික වෙලාවකින් තරුණයාද කැටිව ඔහුගේ මවත් පියාත් ආච්චීත් ඥාති සනුහරේත් පොලිසියට පැමිණියහ.

අම්මා තාත්තා වැළපෙමින් හඬන්නේය. කොල්ලා මළා සේය. තමන්ගේ එකා මේ කෙල්ලට විවාහ කර දෙනවාට වඩා ඌ කපා ගඟේ මූදේ දැමීම හොඳයි කියන්නේය.

ටික වෙලාවක් හැමෝටම වැළපෙන්නට හැර උප පොලිස් පරීක්ෂක රමණී මාස්කෝරාලය තරුණයාගේ දෙමව්පියන් තමන් ඉදිරියට ගෙන්නුවාය. තරුණයාගේ අම්මා දෙසට හැරුණු උප පොලිස් පරීක්ෂකවරිය සිය හඩ අවදි කළාය.

“මේකයි… අම්මෙ. දැන් මේ ඉන්නෙ වැඩිහිටි දෙන්නෙක්. ඒ අයට අපිට මෙහෙම බලපෑම් කරන්න බෑ. ඒ අය තමන්ගෙ කැමැත්තෙන් ගන්න තීරණවලට ඉඩ දෙන්න ඕනි. හරි… දැන් මේ අම්මයි තාත්තයි ඇයි මේ කසාදෙට විරුද්ධ වෙන්න හේතුව“

අම්මා ඉකි බිඳිමින්ම කතා කළාය.

“ ඒකි හීනටියන…“  හීනටියන උන්ට දීග තලග දෙන්නට අහළ ගම් හතක ඇත්තන් කැමති නැති බවත් ඇය කීවාය.

“ හොඳයි… එතකොට මේ අම්මලගෙ ගම් පළාත් කොහෙද?,“ මම මිරිස්වත්තේ…

“එතකොට මේ තාත්තා…“

දැන් දෙන්නාම නිරුත්තරය. බලන් යනවිට මනමාලයාගේ තාත්තාගේ ගමත් හීනටිනය.  හීනටියන වුවත්  මනමාලියගේ මව ගුරුවරියකි. තාත්තා පුද්ගලික ආයතනයක සේවකයෙකි.

“ හරි කමක් නෑ… වෙන මොනවද මේ දැරිවි ගැන තියන වැරදි…“  තරුණයාගේ මවත් පියාත් පැවසුවේ අවුරුදු 15 දි මේ තරුණිය වෙන්ත තරුණයෙක් සමග සම්බන්ධයක් ඇතිකරගෙන ගෙදරින් පැන ගොස් යළි පැමිණි තැනැත්තියක් බවය.

දැන් මේ විරෝධයට අවසාන විකල්පය ඇත්තේ යුවලගේ තීරණය මතය. තරුණියගේ මව හෝ පියා පොලිසියට පැමිණ නැත. අම්මා ඉස්කෝලෙ ගිහින්ය. තාත්තා වැඩට ගිහින්ය. තාත්තා සිය දියණියගේ විවාහය අද බව දන්නේත් නැත.

පොලිසියෙන් තරුණියගේ මවට කතා කර මේ බව දැන්නුවේය. ඇය කීවේ තරුණ වියේ සිටින ඔවුන් කැමති තිරණයක් ගනු ඇති බවත් ඊට බලපෑම් කිරීමට තමන් උත්සාහ නොකරන බවත්ය .

තරුණ යුවල  ගෙන්වූ ස්ථානාධිපතිවරිය ජීවිතයේ ස්වරූපයත් ඔවුන්ට එරෙහි දෙපාර්ශවයෙන් නැගෙන විරෝධයත්, වවාහයේ ඇති    ගැඹුරත් තේරුම් කර දී වැඩිහිටියන් ලෙස ඔවුන්ගේ තීරණයට කල්පනාකාරීව  එළඹෙන ලෙස දන්වා සිටියාය.

දෙදෙනා කථිකාවකින් අනතුරුව ස්ථානාධිපතිවරිය අසලැට පැමිණිය.

“අපි බඳිනවා මිස්… මම මෙයාව දන්නෙ අවුරුදු තුනක ඉඳලා… කිසිම වරදක් මම දැක්කෙ නෑ.  අනික් අය මොනවා කිව්වත් මට කමක් නෑ“ තරුණයා කීවේය.

හඬා වැලපුන දෙමව්පියන් ඥාතීන් තරුණයා  මුලුමනින්ම අත්හැරි බව කියමින් හඬා වැටෙමින්  පොලිසියෙන් නික්ම ගියහ.

මේ වනවිට නැකත පසු වී තිබිණි.  උප පොලිස් පරීක්ෂකවරිය ඇතුළු පොලිස් නිලධාරීන්ට පින් දෙමින්  තරුණ යුවල 2ට කලින් පැමිණෙන ලෙස දැන්වූ  විවාහය රෙජිස්ට්‍රාවරයෙක් සොයාගෙන සිය විවාහය ලියාපදිංචිය සඳහා පිටවි ගියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පැමිණිල්ල මෙහෙයවමින් 12803 කාන්තා පොලිස් කොස්තාපල් සඳහාලි ප්‍රකාශ සටහන් කරගත්තාය.

 

Exit mobile version