පොදු ජන පෙරමුණ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මතුව ඇති බරපතල තත්ත්වයක් පිළිබඳව ආණ්ඩු පක්ෂ සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.
බරපතල පරස්පාරතා සහිත හොර සහතික ඉදිරිපත් කර එවකට සිය පියාගේ දේශපාලන බලය අවභාවිතා කරමින් නීති විද්‍යාලයට ඇතුළු වූ නාමල් රාජපක්ෂ නීති විභාගයට පෙනී සිටි ආකාරය සම්බන්ධව ද බරපතල ප්‍රශ්න මතු වී තිබිණි. දැන් ගැටලුව ඇති වී තිබෙන්නෙ ඔහු නීති විද්‍යාලයට ඇතුළු වූ ආකාරය ය.
මේ සම්බන්ධව ගවේෂණාත්මක මාධ්‍යවේදීනි නිර්මලා කන්නංගර විසින් සකස් කළ තොරතුරු සහිත ලිපියක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් ඇති පසුබිමක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මේ තත්ත්වය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙන් අද එම ගැටලුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මෙසේ පැවසුවේය.
අද උදෑසන සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන නාමල් රාජපක්ෂගේ නීතිඥභාවය පිළිබඳව ඔහු නීති උපාධිය එංගලන්තයෙන් ලබා ගත් ආකරය, ඔහු ලබා ගත් සහතිකය සහ ඔහු නීති විද්‍යාලයට ඇතුළත්වීම පිළිබඳව වෙබ් අඩවි ගණනාවක ලිපි පළ කරලා තියනවා.
විශේෂයෙන්ම අපේ රටේ ගවේශනාත්මක මාධ්යවේදිනියකවන නිර්මලා කන්නංගර මහත්මිය එම තොරතුරු හෙළිදරවු කරලා තියනවා.
එකක් තමයි ඔහු සිටි යුනිවර්සිටි ලන්ඩන් කියන විශ්වවිද්‍යාලයෙන් ඔහු ඉදිරිපත් කරලා තියන සහතිකය ඉදිරිපත් කරලා තියනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ශාස්ත්‍රපති උපාධියට ලියාපදිංචි වීම සඳහා. ඒ උපාධි සහතිකය නිකුත් කරලා තියෙන්නේ 2009 සැප්තැම්බර් මස 15 වැනිදා. නමුත් එම සහතිකයට අත්සන් කළ උප කුලපතිවරයා ජූලි මස 23 වැනිදා ඉල්ලා අස්වෙලා තියනවා.
එතකොට ඒ උපකුලපතිවරයා ඉල්ලා අස්වෙලා දින 54කට පස්සේ තමයි උපාධි සහතිකයේ උප කුලපති ලෙස එම පුදගලයා අත්සන් කරන්නේ. ඒ නිසා මේ උපාධි සහතිකය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ඒ මාධ්‍ය ඔස්සේ මතුකරලා තියනවා.
දෙවැනි කාරණාව තමයි … මෙත නීතිඥවරු ගොඩාක් ඉන්නවා. එතුමලා දන්නවා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වෙන්න ලෝ එන්ට්‍රන්ස් එග්සෑම් එක නැතිව ලෝකයේ පිළිගත් නීති උපාධි ලබාදෙන ආයතනවල සුදුසුකම් සැපිරූ අයට තමයි ඒ අවස්ථාව තිබෙන්නේ.
නමුත් මේ සිටි යුනිවර්සිටි – ලන්ඩන් කියන ආයතනය… මේක යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් නෙමෙයි… මේ ආයතනයෙ ලියා පදිංචි වෙලා තියෙන්නේ 2009 ඔක්තොම්බර් මස 15 වැනිදා. නමුත් මේ ආයතනයෙන් උපාධිය ගත්තායැයි කියන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වෙන්න ඉල්ලා තියෙන්නේ 2009 සැප්තැම්බර් 25….
ඇපිල්කේෂන් එක දාපු දවසසේම නීති විද්‍යාලය ඒක භාර අරගෙන තියනවා . සැප්තැම්බර් 25 දින 2029 මේ ඇප්ල්කේෂන් එක භාරගන්නකොට නීති විද්‍යාලයට ඇතුළත් වීම සඳහා මේ කියන සිටි යුනිවර්සිටි ලන්ඩන් කියන ආයතනය ශ්‍රී ලංකා නීති විද්‍යාලය පිළි අරගෙන නෑ. පිළි අරන් තියෙන්නේ ඔක්තොම්බර් 15. මේ ගැනත් මේ වාරේතාවල අවධානය යොමු කරලා තියනවා.
තුන්වැනි කරුණ තමයි මේ උපාධි සහතිකය අනුව සිටි යුනිවර්සිටි එක ඔහුට ලබා දීලා තියෙන්නේ බැචුලර් ඔෆ් ලෝස් විත් ඔන්රස් ක්ලාස් 3 උපාධියක්. තුන්වැනි පන්තියේ උපාධියක්. ඒ මට්ටමේ උපාධියක් අරන් එක්සත් රාජධානියේ නීතිඥ මණ්ඩලවලට ඇතුළත් වෙන්න බෑ කියන එකත් සඳහන් වෙලා තියනවා.
මීට අදාලව මේ තිබෙන වාර්තා වල පිටපත් මම සභාගත කරනවා. මා බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සුපුරුදු පරිදි මේ ගැන පැහැදිලි කිරීමක් කරයි කියලා.
නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පාර්ලමේන්තුවේ දී කීවේය.







