නවීන මුහුදු යාත්‍රා නිපදවීමේ අංගනයක් හම්බන්තොට වරායට

සූරියවැව නුවන් ජයසේකර –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හම්බන්තොට වරාය තුළ අති නවීන මුහුදු යාත්‍රා නිපදවීමේ අංගනයක් පිහිටුවීම සඳහා සී හෝර්ස් යොට්ස් (Sea Horse Yachts – SHY) පුද්ගලික සමාගම, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සමඟ පසුගියදා ගිවිසුමකට එලැඹුණු බව හම්බන්තොට වරායෙහි ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියු පැවසීය.

හම්බන්තොට වරායෙහි ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියු සහ සී හෝර්ස් යොට්ස් සමාගමේ සභාපති අලි හුසේන් ඩිඩී විසින් මෙම ගිවිසුමට අත්සන් තැබීය. මේ අවස්ථාව සදහා තරුණ හා ක්‍රීඩා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් ඕමාර් අබ්දුල් රසාක් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය තුළ පිහිටුවීමට සැලසුම් කොට ඇති ව්‍යාපෘතියේ මූලික ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 58 ක් (රුපියල් බිලියන 11.5) පමණ වන බව ඇස්තමේන්තු කර ඇති අතර එහි නිෂ්පාදන කටයුතු 2022 මුල් භාගයේදී ආරම්භ කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය තුළින් සෘජු රැකියා අවස්ථා 200 කට වැඩි ප්‍රමාණයක්ද වක්‍ර රැකියා අවස්ථා 300ක් පමණද බිහි කිරීමට අපේක්‍ෂා කෙරේ.

අලුතින් සංස්ථාගත කරන ලද සී හෝර්ස් යොට්ස් සමාගම ශ්‍රී ලංකාවේ හම්බන්තොට පිහිටි සුපිරි සුඛෝපභෝගී මුහුදු යාත්‍රා නිෂ්පාදන කරන ආයතනයකි. බ්‍රිතාන්‍ය, යුරෝපීය හා දකුණු අප්‍රිකානු නවෝත්පාදක සැලසුම්කරුවන්ගේ සහයෝගය ඇති ශ්‍රී ලාංකික විශේෂඥ කණ්ඩායමක් මෙම සමාගමේ කළමනාකරණය හසුරුවනු ලබයි. මෙම සමාගම අයත් වන්නේ සුඛෝපභෝගී මුහුදු යාත්‍රා පිළිබඳ පුළුල් දැනුමක් සහ පළපුරුද්දක් ඇති මාලදිවයින් බෝට්ටු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හටය. ඔරු පැදීම සහ සමුද්‍රිය ක්ෂේත්‍රය පිළිබඳ ඔවුන්ට දිගු ඉතිහාසයක් ඇති අතර අති නවීන මුහුදු යාත්‍රා නිෂ්පාදනය කිරීමේ අංගනය, ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ඉදිරියේදී තවදුරටත් සම්බන්ධ වීමටද නියමිතය.


Exit mobile version