නල්ලතන්නියේ කොටියකු මරා හම ගැසූ මිනිසා වට්ස්ඇප් නිසා හසුවෙයි

කොටියෙකු ඝාතනය කර උගේ මස් අළෙවි කළ බව කියන පුද්ගලයින් තිදෙනෙකු නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් පෙරේදා (27) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ. සැකකරුවන් තිදෙනා පසුගිය (23) දින වලපනේ මුර්ඔය තේ වත්තේ මන්දක් අටවා අවුරුදු හතරක් පමණ වයසැති මෙම කොටියා අල්ලා ඝාතනය කර තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව ඇත.

ඝාතනය කරන ලද කොටියාගේ ඡායාරූපයක් එක් සැකකරුවෙකු විසින් එම වතුයායේම පදිංචි මිතුරෙකුට වට්ස්ඇප් මගින් යොමුකර තිබියදි එම ඡායාරුපයක් තමන් වෙත ලැබුණු බව නල්ලතන්නිය වනජිවි කාර්යාල‍යේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා කීය. සමනල අඩවි ආරක්ෂක ඩි.පි.සෙයාසිංහ මහතාගේ උපදෙස් පරිදි වලපනේ ප්‍රදේශයට ගොස් සිදුකළ විමර්ශනයකින් පසු කොටියා ඝාතනය කළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු සහ කොටියාගේ දත් ගලවා සන්තකයේ තබාගත් අයෙකු අත්අඩංගුවට ගැනිමට හැකි වුවේ යැයි ඒ මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනොගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඝාතනය කළ කොටියාගේ සම එක් සැකකරුවෙකුගේ‍ නිවසේ වේලීමට දමා තිබීයදී සොයාගෙන ඇත. සැකකරවන් නුවරඑළිය වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ඊ.ආර්.එස්.ජිනදාස මහතා වෙත ඊයේ (28) ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින්වූ පුද්ගල ශරිර ඇප මත ඔවුන් තිදෙනා මුදාහැර තිබේ.සැකකරුවන්ට යළි සැප්තැම්බර් මස 07 දින අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ වලපනේ මුර්ඔය වතුයායේ පදිංචි සුප්පන් ඉලංගෝවන් (46) ,රාමසාමි මුත්තයියා කමලදාසන් (33) සහ මරදවිරන් ශ්‍රිදරන් (28) යන තිදෙනාය.


නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනජිවි නියාමකවරුන් වන දිළුම් ගොඩගෙදර,බියතුංග,ක්ෂේත්‍ර සහයක අජිත් ශාන්ත,අනියම් කම්කරුවන් වන වයි.සත්‍යාගු,ආර්.රාජෙන්ද්‍රන්,ආරුමුගම්,වනජීවි රියදුරු වසන්ත සම්පත් යන අයගේද සහයෝගය මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඡායාරූප-
•ඝාතනය කරන ලද කොටියාගේ ඡායාරුප කිහිපයක් •ඝාතනය කරන ලද කොටියාගේ සම සැකකරුගේ නිවසේ වේලිමට දමා තිබු අයුරු ඡායාරුප කිහිපයක්
•නල්ලන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් කොටියාගේ සිරුරේ කොටස් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අයුරු

Exit mobile version