ද ෆිනෑන්ස්, ETI තැන්පතුකරුවන්ට සාධාරණයක් කිරීමට ජනපති මැදිහත් වෙයි

අර්බුදයට ගොස් ඇති ETI මූල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව අදම නීති උපදෙස් ගෙන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටුකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහබැංකු නිලධාරීන්ට අද (29) උපදෙස් දී තිබේ.

ජනාධිපති කාර්යාලය, මහ බැංකුව, භාණ්ඩාගාරය සහ තැන්පත්කරුවන් නියෝජනය වන කමිටුවක් ස්ථාපනය කොට ඉදිරි ක්‍රියාමාර්ග අධීක්ෂණය කළයුතු යැයි ජනාධිපතිවරයා කියා සිටී.

ETI සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සිදුවන ආකාරය සොයා බැලීම පිණිස අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ සඳහන් කළේය.


ETI ආයතනයේ ගනුදෙනු පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබේ. මහ බැංකුව මේ සමාගම් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග දිර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

ආයතන දෙකෙහිම ලක්ෂ 06ට අඩු වටිනාකමක් සහිත තැන්පතු හිමියනට ගෙවීම් අවසන් කිරීම පළමු අදියර යටතේ සිදු කෙරේ. ආයතන දෙක සතු සියලු දේපළ අත්පත්කරගෙන හෝ සෙසු ගනුදෙනුකරුවන්ට ද සාධාරණය ඉටුකළයුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මීළග මුදල් මණ්ඩල රැස්වීමේදී ජනතා චෝදනා සහ දුක් ගැනවිලි විමර්ශනය කොට උපරිම විසඳුම් දීමට ක්‍රියාකරන බවට මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා සහතික විය.

මහ බැංකුවේ අඩුපාඩු නිවැරදි කොට ජනතාවට ඝෘජුව බලපාන ප්‍රශ්න විසඳීමටත්, ආයතනයේ ගෞරවය සහ වගකීම තහවුරු කිරීමටත් පියවර ගන්නා බව මහබැංකු අධිපතිවරයා කීය.

ETI සහ ද ෆිනෑන්ස් ආයතන සතු දේපළ හඳුනාගෙන නඩු පැවරීමකින් තොරව පවරාගෙන ජනතාවට හිමි මුදල් ආපසු ගෙවන බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු ඇතුළු නිලධාරිහූ සහ ආයතන දෙකෙහි තැන්පත් කරුවන්ගේ නියෝජිත කණ්ඩායමක් සාකච්ඡාවට එක්ව සිටියහ.

Exit mobile version