සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් කතානායකට බාරදීම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් අද දහවල් 12.15ට පාර්ලිමේන්තුවේ දී සිදුකරන බව රජයේ ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වීමක් 12.30ට පොල්දූව මන්සන්ධියේ පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම අසලදී සිදු කෙරේ.
දේශබන්දු තෙන්නකෝන් තවමත් රටේ නීත්‍යානුකූල පොලිස්පතිවරයාය. ඔහු මේ වනවිට ඉන්නේ හිරේය. දුම්බර බන්ධනාගාරයේ ය. වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව දින 21 අධිකරණය මග හැර සිටි පොලිස්පතිවරයාට එරෙහිව දුටු තැන අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්විය. අනතුරුව මෝසමක් මගින් මාතර අධිකරණයට භාරවුන පොලිස්පතිවරයා අප්‍රේල් 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පොලිස්පති පත් කිරීම නීති විරෝධී බවට ගොනු කරන ලද නඩුකරයක් හේතුවෙන් දැනට පොලිස්පතිගේ රාජකාරි වාරණයකට ලක් කර ඇති පොලිස්පතිවරයා ඉවත් කිරීම සිදුකළ යුත්තේ පාර්ලිමේන්තුවේ සම්මතවන විශ්වාස භංග යෝජනාවක් මගිනි. මේ වනවිට ඒ සඳහා ආණ්ඩුවේ මන්ත්‍රීවරු පෙරට විත් සිටිති.







