දෙමළ කතෝලික මරණ නොදුටුව කාදිනල්වරයා මේ කරන්නෙ දේශපාලනයක් – ශ්‍රීධරන් කියයි…

දිනසේන රතුගමගේ –

යුද සමයේදී උතුරේ මියගිය පිරිස අතර දෙමළ කතෝලික වැසියන් විශාල පිරිසක් සිටි නමුත් රංජිත් මැල්කම් කාදිනල්වරයා ඒ පිරිස වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමක් හෝ ඔවුන් වෙනුවෙන් කිසිම දෙයක් නොකොට  පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස ගැන පමණක් කතා බහ කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව බව  දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් ඊයේ ( 6 ) මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.

තමන් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී පවා හඩ නගන බව කී  මන්ත්‍රීවරයා යුද්ධයේදී මියගිය සෙසු දෙමළ වැසියන් ගැන කාදිනල්වරයා කතා නොකළද අවම වශයෙන් කතෝලික පිරිස සම්බන්ධයෙන් හෝ කතා කිරීමට ඔහුව  අවශ්‍ය තරම් ඉඩකඩ තිබුණු බවද කියා සිටියේය.

“කාදිනල්වරයා පමණක් නොවෙයි… සියලුම ආගමික නායකයෝ කතා කළ යුත්තේ  අසාධාරණය වෙනුවෙන් පමණයි. නමුත් මේ වන විට ආගමික නායකයෝ කතා කරන්නේ දේශපාලනඥයින්ට අවශ්‍ය දේ පමණයි. කාදිනල් හිමියෝද ඒවැනි අයෙක්.“


“ උතුරේ යුද්ධය පැවති වකවානුවේදී මියගිය පිරිසට තවමත් සාධාරණයක් ඉටු වී නැහැ. ඔවුන්ට නිවාස නැහැ. වන්දි මුදලක් ලැබී නැහැ. කිළිනොච්චි මුලතිව් යාපනය වවුනියාව මන්නාරම කියන හැම පළාතෙම මේ විපතට මුහුණ දුන්න කතෝලික වැසියෝ විශාල ප්‍රමාණයක් සිටිනවා. කාදිනල්වරයාට ඇයි මේ මිනිස්සු ගැන කතා කරන්න බැරි. මේ මිනිස්සුත් මිනිස්සු කියලා ඒ අය හිතන්නේ නැහැ. දේශපාලන වාසි වෙනුවෙන් විතරයි ඒ අය කතා කරන්නේ.“

කාදිනල්වරයාට අවශ්‍ය වෙලා තියේන්නේ මේ රජයේ සිටින අයම යළිත්  බලයට පත් කර ගැනීමටයි. ඔහු කතා කරන්නේ ඒ වෙනුවෙන් මිසක් සාධාරණය වෙනුවෙන් නෙමෙයි. මේක හරීම කණගාටුදායක තත්ත්වයක්.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“දකුණේ ආගමික නායකයෝ සිංහල ජනතාව ගැන කතා කරනවා. ඔවුන්ගේ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිනවා. දෙමළ ආගමික නායකයින් දෙමළ ජනතාව ගැන කතා කලාම ඔවුන්ව රාජ්‍ය විරෝධීන් වශයෙන් සලකා හතර වෙනි තට්ටුවට අරන් ගිහින් ප්‍රශ්න කරලා බය කරනවා.“

Exit mobile version