දුම්රියේ ගැටී හිමි නමක් මිය ගිහින්… මරණය සැකයි… පොලිසිය කියයි…

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කහව හා අකුරල අතර ප්‍රදේශයේදී භික්ෂූන් වහන්සේ නමක් දුම්රියක හැපී ඊයේ (28) රාත්‍රී අපවත් වී තිබේ.

මෙසේ අපවත් වී ඇත්තේ ඇල්පිටිය, ගණේගොඩ පුරාණ රජමහ විහාරස්ථානයේ වැඩ වාසය කල එම විහාරස්ථානයේ විහාරාධිකාරී පිටුවල සාරද නැමැති තිස් හැවිරිදි භික්ෂූන් වහන්සේ නමකි.

අපවත් වූ භික්ෂූන් වහන්සේගේ මෘත දේහය එම දුම්රියෙන්ම කහව දුම්රිය ස්ථානයට රැගෙන විත් බාර දී තිබූ බවත් මෘත දේහය මේ වන විට බළපිටිය මූලික රෝහලේ තැන්පත් කර තිබෙන බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි.


අපවත් වූ භීක්ෂූන් වහන්සේගේ හදිසි මරණ පරීක්ෂණය මාදම්පාගම හදිසි මරණ පරීක්ෂක කේ වගආරච්චි මහත්මිය විසින් සහ පශ්චාත් මරණ පරීක්ෂණය බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් අද (29) දින බළපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ මෙම භික්ෂූන් වහන්සේ ගැටී ඇති බවත් අනතුර ඊයේ (28) රාත්‍රී 8.45 ට පමණ සිදුව තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.  

අපවත් වූ භික්ෂූන් වහන්සේගේ මෘත දේහය දුම්රියෙන්ම රැගෙන විත් කහව දුම්රිය ස්ථානයට බාර දී තිබූ නිසා අනතුර වූ ස්ථානය නිවැරදිව සොයා ඉදිරි පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මෙම භික්ෂූන් වහන්සේ ත්‍රීරෝද රථයකින් ඊයේ (28) සවස 4.30 ට පමණ අම්බලන්ගොඩට පැමිණ තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මිට මාස කිහිපයකට පෙර අපවත් වූ නායක භික්ෂූන් වහන්සේ නමකගේ දානයට අවශ්‍ය බඩු මිළ දී ගැනීම සඳහා කොළඔ යන බව අදාල ත්‍රීරෝද රථයේ රියදුරුට දැනුම් දී තිබෙන බවද ඔහු පොලීසියට ප්‍රකාශ කර තිබේ.

කොළඹ යන බව පවසා ඇල්පිටියෙන් අම්බලන්ගොඩට පැමිණි මෙම භික්ෂූන් වහන්සේ අකුරල හා කහව ප්‍රදේශයට ගියේ කුමන හේතුවක් නිසාද? යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදුකරන බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි. මෙය සිය දිවි හානිකර ගැනීමක් ද නොඑසේ නම් වෙනත් හේතුවක් නිසා මෙම භික්ෂූන් වහන්සේ දුම්රියේ ගැටුණාද? යන්න සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ පවත්වන බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමාගේ මෙහෙයවීම මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයසූරිය, පොලිස් සැරයන් සුනිල් (58496) ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version