දිවුලපිටියේ වී.අයි.පී. ගමකට රෑ 12ට හෝ එන්නත් දෙන්න නියෝගයක්….

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මැල්ලවගෙදර පොල්හේන ගමේ සැලසුම් කළ එන්නත්කරණ වැඩසටහනක් අවශ්‍ය එන්නත් ප්‍රමාණය මදි වීම නිසා කල් යෑම පිළිබඳ කුපිත වූ සෞඛ්‍යය අමාත්‍යාංශය ඒ සම්බන්ධව වහාම පරීක්ෂණයක් පත්වා හේතු විමසීමටත් දිනයක් තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සියල්ලන්ගෙන්ම ඉතිරි වූ එන්නත් එකතු කර රාත්‍රියේ හෝ එම ගමට එන්නත් කිරීම් සිදුකර නිමා කිරීමටත් නියෝග කිරීම හේතුවෙන් ක්ෂේත්‍ර සෞඛ්‍ය අංශ දැඩි කළකිරීමකට පත් වී ඇතැයි වාර්තා වේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

දේශපාලකයන් විවිධ බාධා එල්ලකරමින් ඇතත් පොදුවේ එන්නත්කරණ වැඩසහන් ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුවය. ඒ අනුව ලැබෙන එන්නත් ප්‍රමාණය අනුව එන්නත් ලබා දෙන ග්‍රාමසේවක කොට්ඨාස සැලසුම් වේ. මේ වනවිට දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පමණක් තවමත් එකම එන්නතක්වත් ලබා දීමට නොහැකි වූ ග්‍රාමසේවක වසම් 47ක් තිබේ.

මේ සෑම ග්‍රාමසේවා වසමක් සඳහාම එන්නත් වැඩසටහනක් සැලසුම් කර ඇත. ඒ අනුව මැල්ලවගෙදර පොල්හේන ගමටද එවැනි වැඩසටහනක් සැලසුම් වී තිබිණි.

එහෙත් ප්‍රමුඛතාවය අනුව එන්නත් ලබාදීමේ දී එම ගමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය එන්නත් ප්‍රමාණය නොතිබුණු නිසා එය තාවකාලිකව කල් ගොස් තිබිණි.

ගම් 47ක් සඳහා එකම එන්නතක්වත් ලබා දීමට නොහැකිව තිබූ වටපිටාවක මැල්ලවගෙදර පොල්හේනට එන්නත් නොදීම සම්බන්ධව කුපිත වූ සෞඛ්‍ය අමාත්‍යාංශය එසේ වීමට හේතු විමසා පරීක්ෂණයක් පැවැත්වීමට පෙරේදා 09දා උදෑසන වෛද්‍යවරුන් දෙදෙනෙක් දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට එවා තිබිණි.

එහිදී පරීක්ෂණය කිරීම සඳහා පැමිණි පිරිස හමුවු ප්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසා ඇත්තේ එන්නත්කරණ වැඩපිළිවෙළ සිදුවන්නේ ක්ෂේත්‍රයේ අවශ්‍යතාවය මත බවත්, තමන් මෙතෙක් කටයුතු කර ඇත්තේ දේශපාලනයට හෝ වෙනත් බලවතුන්ගේ ලියමන්වලට නොවන නිසා කැමති දෙයක් කළ හැකි බවත්, එකම එන්නතක් ලබා නුදුන් ගම් 47ක් දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිබෙද්දී පොල්හේනට එන්නත් ලබා නුදුන්නේ මන්දැයි පරීක්ෂණ කිරීමට කොළඹ සිට පැමිණීමට හේතුව කොන්දක් ඇතිනම් පවසන ලෙසත්ය.

විනාඩි පහක් යන්නට පෙර පරීක්ෂණ කණ්ඩායම පිටවී ගොස් ඇත. ඉන් අනතුරුව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ඉතිරි වී ඇති සයිනොෆාම් එන්නත් එකතු කිරීම අරඹා තිබේ.

එසේ එකතු කරගත් එන්නත් තුන්සීයක් එදිනම (09) සවස 2 වනවිට දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට එවූ ගම්පහ සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය විසින් නියෝග කර ඇත්තේ එදිනම මෙම එන්නත් පොල්හේන වෙත ගොස් ලබා දිය යුතු බවත් රාත්‍රී කොපමණ කාලයක් ගත වුවද එය එදින නිමා කළ යුතු බවත්ය. එන්නත් මදි වුවත් තිබෙන එන්නත් ප්‍රමාණයෙන් වැඩසටහන ආරම්භ කිරීමට නියෝග ලැබී ඇත.

මේ කටයුත්තෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂවරු ඉවත් වූ බැවින් දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා තවත් වෛද්‍ය නිලධාරියෙක් සමග පොල්හේනට ගොස් එම එන්නත් 300 ලබා දී ඇත.

වාර්තාවන පරිදි මැල්ලවගෙද පොල්හේන සෞඛ්‍ය ඇමතිනියගේ ස්වාමිපුරුෂයා මෙන්ම දැනට එතුමියගේ පුද්ගලික ලේකම්වරයා ද වන කාංචන ජයරත්නගේ ගමය.

Exit mobile version