දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඊයේ රෑ පුරා වැසි… වැඩිම වැස්ස කලුතර දිස්ත්‍රික්කයට

තුෂාරී කළුබෝවිල –

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඊයේ (02 වැනිදා) රාත්‍රිය පුරා ධාරානිපාත වැසි ඇති වී තිබේ.

ඒ අතරින් වැඩි ම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ කලුතර දිස්ත්‍රික්කයට ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉංගිරියට මිලිමීටර් 215.5ක ද හොරණට මිලිමීටර් 170.5ක ද පාලින්දනුවරට මිලිමීටර් 129 ක වර්ෂාපතනයක් ද ලැබී ඇත.

මීට අමතර ව රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ලට, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්කට හා ගාල්ල දිස්ත්‍රික්කයේ දෙල්ලවට ද මිලිමීටර් සියයට වැඩි වර්ෂාවක් ලැබී ඇත. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ පළාතවල බොහෝ ප්‍රදේශවලට ද තද වැසි ඇති වී තිබේ.
මේ හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර හා රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කලවාන, අයගම, කුරුවිට ප්‍රදේශවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

අධික වර්ෂාවත් සමග අත්තනගලු ඔයේ දුනමලේ ආශ්‍රිත ව ද අත්තනගල්ල, ගම්පහ, මිනුවන්ගොඩ හා ජාඇල ආශ්‍රිත ව ද සුලු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර නිල්වලා ගඟ පනාඩුගමින් ද කලු ගඟ කලවැල්ලාව මිල්ලකන්ද ආශ්‍රිත ව ද මගුරු ගඟ මගුර ආශ්‍රිත ව ද ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් ද පිටාර මට්ටමේ පවතී.
වර්ෂාව තවදුරටත් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බැවින් මෙම ගංගා ජලාශ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ජනයා විමසිලිමත් වියයුතුය බවට අවධාරණය කෙරේ.

පසුගිය මාසය පුරා ඇති වූ අධික වැසි හා ජලගැලීම් හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 535කට අයත් පුද්ගලයින් 2357 දෙනෙක් විපතට පත් වූ අතර එය ද ඇතුළු ව දිවයිනේ දිස්ත්‍රික්ක 14ක පවුල් 3429කට අයත් පුද්ගලයින් 13820 දෙනෙක් පීඩාවට පත් ව තිබිණි. නිවාස හා ව්‍යාපාරික ස්ථාන 1335කට හානි සිදු විය.
වැසි, සුළං, අකුණු තත්ත්වය තවදුරටත් පවතින බැවින් විමසිලිමත් වන ලෙස අනතුරු ඇඟවේ.


Exit mobile version