දිලුම්ගේ දේශපාලන බැලයින්ට කොන්දක් සහිත විදුහල්පතිවරයෙක් දුන් උපදේශය…

ජානක ලියනආරච්චි –

21 දා පාසල් ආරම්භ කිරීමට ආණ්ඩුව සූදානම් වේ. ඇමතිවරුන්ගේ ගෝලයින් පැමිණ විදුහල්පතිවරුන්වත් නොදැන පාසල් සුද්ධ පවිත්‍ර කරති. අනතුරුව පාසල සුද්ධ කළ බව කියන්නට දුරකථන ඇමතුම් දෙති.

ප්‍රාදේශීය දේශපාලකයන් විදුහල්පතිවරුන්ගෙන් පාසල් විවෘත කිරීම සඳහා යතුරු ලබා ගැනීමට සූදානම්ය. මස් රාත්තලම ඉල්ලමින් යන ගුරු වර්ජනය පිළිබඳ වෙනම සංවාදයක් ඇති කළ යුතු බව සැබෑය. එහෙත් මේ අප ඉදිරියේ ඇත්තේ වගකිවයුතු ආණ්ඩුවක් සිහිනයෙන්වත් කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි නොම්බර එකේ මුග්ධකම්කම් රාශියකි.

ප්‍රාදේශීය ලේකම්කාර්යලවල පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරී පිරිස් සිසුන් 200 අඩු පාසල්වලට මෙම මස 21 වැනි දා සිට අනුයුක්ත කරන්නැයි  රජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරා දිස්ත්‍රික් ලේකම්වරුනට දැනුම් දී තිබේ.


වියත්මගේ නිඝන්ඨයන් මේ මොහොතේ කොතැනක වෙත්දැයි නොදනිමු. රටක ප්‍රාථමික අධ්‍යාපනය ලබා දීම මේ තරම් සිල්ලර යැයි   වැස්සකටවත් පාසල් ගිය එකෙක්  කල්පනා කරනු ඇතැයි අප විශ්වාස කරන්නේ නැත.

මේ ආණ්ඩුව කුජීත කරන්නේ මේ ජාතියේ මර්මස්ථානයන්ය. කෘෂිකර්මය විෂයෙහි කිසිම විද්වතෙකුගේ මතකයට ඉඩ නොදී   පෙන්වූ මුග්ධ උද්ච්ඡකම මේ මොහොතේ රටට  කර  ඇති විනාශයේ ප්‍රමාණය  පෙනෙමින් ඇත. ප්‍රතිඵල එන්නේ ලබන කන්නයේ ය. මහින්දානන්ද තවමත් ඔහු ගෙන්වූ රසායනික පොහොර කාබනික යැයි කියමින් සිටී. ඒ විනාශ කළේ රටේ බත් පතය.

දැන් මේ දේශපාලකයන් බෝම්බය ගසන්නට හදන්නේ මේ රටේ අධ්‍යාපනයේ පදනමටය. දින අනූවක වෘත්තීය අරගලයක් නැවැත්වීම සඳහා අධ්‍යාපනය විනාශ කරන්නේය. මහදැනමුත්තා හිටියේ මීට වඩා ගවු ගණනක් ඉදිරියෙනි.

එවැනි පසුබිමක මේ අශීලාචාර ගොබ්බ දේශපාලනයට කම්මුල් පහරක් එල්ල කල පෞරුෂවත් විදුහල්පතිවරයෙක් ගැන සමාජ මාධ්‍යය තුළ ඇසෙමින් ඇත.

ඔහු මහනුවර රාසිංදෙවි විදුහලේ විදුහල්පතිවරයා ය. නම අ.මු.තු බණ්ඩාරය. ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙකි. දිලුම් අමුණුගමගේ දේශපාලන බැලයින් පිරිසක්ට ඔහු දිලුම් අමුණුගමටත් දැනෙන්නට ලබා දුන් පිළිතුර පහත හඩ පටයේ දැක්වේ.

තේරුම් ගත යුත්තක් ඇත. මේ අප කතා කරන්නේ අගතිගාමී ලෙස දිග් ගැස්සෙන වර්ජිත ගුරු විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නය නොවේ. මේ රටේ කුජීත කරන පාදඩ දේශපාලනයේ අශික්ෂිතකම ප්‍රශ්න කරන රාජ්‍ය නිලධාරීයෙකුගේ පෞරුෂය ගැනය.

රටක් ගොඩ නැගීමට අවශ්‍ය තමන්ගේ වාසියට බත්බැලකම් කරන කොඳු බිඳගත් පණ්ඩකයින් නොවන බව යළිත් මේ රටට කියන්නට අවශ්‍ය වී ඇත. අ.මු.තු බණ්ඩාර එය අපූරුවට කියා ඇත. දැන් අප බලා සිටින්නේ දිලුම් අමුණුගමගේ ප්‍රතිචාරය දෙසය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version