දරුවන්ට අධ්‍යාපනය නොදී මොන දේ කළත් වැඩක් නෑ… මේ අපරාධය නවත්වන්න..

රෝහණ විජේවීරගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය අතුල සුමතිපාල  ආයාචනා කරයි...  

Athula-Sumathipala

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කර වධකාගාර මැදින් පැමිණි ඉතිහාසයක් සහිත තමන්ට නිදහස් අධ්‍යාපනය රැකීම සඳහා කිසිම දෙගිඩියාවක් නැති  නමුත්  කොතලාවල අධ්‍යාපන පනතින් අධ්‍යාපනයටවන හානිය දකින සමාජය දරුවන්ට  අධ්‍යාපනය ලබා නොදීමෙන් ඇතිවන හානිය නොදකින හේතුව කුමක් දැයි නොවැටහෙන බව මහාචාර්ය අතුල සුමතිපාල කියයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ වෛද්‍යවරයා ලෙස සමාජය හඳුනාගෙන සිටින මහාචාර්ය සුමතිපාල මේ වනවිට එංගලන්තයේ කීල් විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන විද්වතෙකි.

ඔහු මේ ප්‍රකාශය කරන්නේ රූපවාහිනී වැඩසටහනකට එක් වෙමිනි.  එහිදී ඔහු කරන කතාව මෙසේය.


“දරුවො වරප්‍රසාද නැති අය. මට බරපතල ප්‍රශ්නයක් තියනවා දරුවන්ට පාසල් යන්න බැරි එක පිළිබඳව.“

“මම 88 -89 වකවානුවේ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කරලා වධකාගාර හරහා ආපු කෙනෙක්. නිදහස් අධ්‍යාපනය රකින්න කිසි දෙගිඩියාවක් නෑ.“

“හැබැයි  මට තියන ප්‍රශ්නය කොතලාවල පනතින් අධ්‍යාපනයට වෙන අවුලක් තියනවා නම්  මේ පාසල්වල ගුරුවරු උගන්වන්නෙ නැති එකෙන්  දරුවොන්ට වෙන මූලික අයිතීන් අහිමිවීම පිළිබඳව අපි දකින්නෙ නැත්තේ ඇයි කියන එක.“

“මා අදත් විශ්වාස කරන එක දෙයක් තියනවා. ගුරු පරම්පරාවේ අති බහුතරයක්  කැප වෙච්චි හොඳ අය. අවුරුදු  27ක් තියන ප්‍රශ්නයක් තියනවා. ඇත්ත. අසාධාරණයක් තියනවා. ඒක ඇත්ත. හැබැයි  ඒකට රටේ දරුවො වන්දි ගෙවන්න ඕන නෑ.“

“දරුවෙකුගේ පළමු දවස් 1000 තමයි වැදගත්ම කාලය. පූර්ව ළමා අවධිය. ඒක අහිමි වෙනවා මේ දරුවන්ට.  සීමා සහිතව හරි ලැබෙන මාර්ග ගත අධ්‍යාපනයත් දැන් නෑ…“

“අධ්‍යාපන පනතක් වැරදි නම් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ බලගැන්විලා ඉන්නේ පාරට බැහැලා සටන් කරන්න. ඒත් මේ කුඩා දරුවො බලගැන්විලා නෑ. දැන් බලගැන්වෙන්න අවශ්‍ය අම්මලා සහ ගුරුවරු. ඒ  මේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන්.“

“අපි මොනවා කළත් රස්සාවල් දාලා ඇවිත් වැඩ කළත්, සුව විරුවො දිවා රාත්‍රියෙ වැඩ කරලා  ජීවිත ඉතුරු කළත් වැඩක්  නෑ මේ දරුවන්ගෙ අධ්‍යාපනය බිඳ හෙළුවොත්.“

“ඒ නිසා මා   යෝජනාවක් කරනවා.  මේ රටේ හැම අම්මා කෙනෙක්ම ගුරුවරු කරන්න මාධ්‍ය යොදා ගන්න.  මේක කරන්න පුලුවන්. අධ්‍යාපනයේ තියනවා භාවමය බුද්ධිය ගොඩනැන්වීම.  හුදු දේවල් දැනුම පතපොතින් ගන්න පුලුවන්.  හොඳ පුරවැසියො, අනික් මිනිහා ගැන හිතන්න පුලුවන් මිනිස්සු නායකයො  ගොඩනැගීමේ කටයුත්තට  දායක වෙන්න අම්මලාට පුලුවන්.“

“අපේ රටේ දරුවන්ගේ පොදු එන්නත්කරණ වැඩපිළිවෙළ  සියයට අනූ පහක සාර්ථකත්වයක් පෙන්නුවෙ කාන්තාවන් දැනුම්වත් නිසා.  මේ අවස්ථාව අපි පාවිච්චි කරන්න ඕන දරුවන්ගෙ මූලික අයිතිවාසිකම් දිනාගන්න.“

“මූලික අයිතිවාසිකම කියන්නෙ මගේ අයිතිවාසිකම විතරක් නෙමෙයි. අනික් අයගේ යුතුකම වගකීම වෙනුවෙනුත් ඉදිරිපත් වීම.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මා යළිත් කියන්නම්.  දරුවන්ට මුල් තැන. අපි හැමදේම කරන්න ඕන දරුවො වෙනුවෙන්.‘

Exit mobile version