තේ ෆැක්ටරි කාරයෝ කාසල්රී ජලාශයත් විනාශ කරමින් කෙසෙල්ගමු ඔය වනසති…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයට කසළ තේ බැහැර කර විශාල පරිසර දූෂණයක් සිදු කිරීමේ සිද්ධියක් බගවන්තලාව සහ නොර්වුඩ් පොලීස් ස්ථානවල පරිසර ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කිලෝ මීටර 30 ක පමණ දුරක් දක්වා දිවෙන කෙසෙල්ගමු ඔයට තවත් ඇළ මාර්ග කිහිපයකින් ජලය එකතු වන බවත් එම ඇළ මාර්ග වලට තේ කර්මාන්ත ශාලා මගින් කසළ තේ බැහැර කරන බවත් ප්‍රදේශවාසිහූ පවසති.

ඇළ මාර්ග වලට එකතුවන කසළ තේ කෙසෙල්ගමු ඔයට එකතු වීමෙන් ඔයේ ජලය තද කළු පැහැයක් ගෙන ගලා බසින අතර මේ නිසා එම ජලය පරිහරණය කරන පිරිස් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

කසළ ජල පහරට එක්වීම නිසා ඔයේ මත්ස්‍යය සම්පතට මෙන්ම ප්‍රදේශයේ ජෛව විවිධත්වයට දැඩි බලපෑමක් එල්ලවන බව පරිසරවේදිහූ පවසති.

තේ කර්මාන්ත ශාලාවලින් ඉවතලන අපද්‍රව්‍යය බැහැර කිරිමට නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මගින්ද කෙසෙල්ගමු ඔය දෙපස පිහිටි තේ වතුවල වතු අධිකාරිවරුන්ට මෙයට පෙරද උපදෙස් ලබා දී තිබිණි.

Exit mobile version