තේ සඳහා රසායනික පොහොර ගේන්න අවසරයක් දෙයි

රසායනික පොහොරවලින් ඉවත්ව සම්පූර්ණයෙන්ම කාබනික පොහොර භාවිතයට ගන්නා තෙක් අතරමැදි සංක්‍රාන්ති කාලය තුළදී පමණක් නයිට්‍රජන් මිශ්‍ර රසායනික ගෙන්වීමට අවසර ලැබී ඇති බව තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාසර කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තේ වගාව රසායනික පොහාරවලින් තොරව කාබනික පොහොරවලින් පමණක් ඉදිරියට ගෙන යාමට හැකියාව ඇති බවට මේ වනවිට පර්යේෂණ මට්ටමේදී පැහදිළිව පෙනී ගොස් ඇති බවත් තේ වගාවට ගැලපෙන ඛනිජ සහ කාබනික ද්‍රව්‍ය නව්‍ය නිෂ්පාදන සිදු කිරීමට මේ වනවිට දේශීය පර්යේෂකයන්ද වෙහෙසෙමින් සිටින බවත් සඳහන් කළ මොල්ලිගොඩ මහතා පරිවර්තනය වන සංක්‍රාන්ති කාලය තුළ තේ නිෂ්පදානයට ස්ථාවරව පවත්වා ගැනීමේ අරමුණින් නයිට්‍රජන් මිශ්‍ර රසායනික පොහාර ආනයනය සඳහා අවසර ලබා දීමට ඒ අනුව රජය එකඟත්වය පළ කර ඇති බවය. එසේම මේ වනවිට එප්පාවල පොස්පේට් ඇතුළු ඛනිජ ද්‍රව්‍ය සහ කාබනික දුව්‍ය මිශ්‍ර කොට එක් එක් තේ වගාවන්ට යෝග්‍ය මට්ටමේ පොහොර නිෂ්පාදනය සඳහා පර්යේෂකයන් යොමු ව ඇති බවය. මෙම පොහොර නිෂ්පාදනය සාර්ථක වනු ඇති බවට විශ්වාසය පළකළ තේ මණ්ඩල සභාපතිවරයා ඒ තුළින් රටට ඉදිරියේදී ගුණාත්මක තේ අපනයනය කිරීමේ හැකියාවක් ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කලේය.
මේ වනවිටත් ප්‍රමාණවත් පොහොර නොමැති වීම හේතුවෙන් තේ අස්වැන්නේ අඩුවීමක් පිළිබඳව තේ පර්යේෂකයන් මෙන්ම වගාකරුවන්ද පුරෝකථනය කර ඇති අතර එම තේ නිෂ්පාදනය පහළ බැසීමෙන් සිදුව හැකි දරුණු ඵල විපාක පිළිබඳව අවබෝධයෙන් යුතුව රසායනික පොහොර ප්‍රමාණවත් පරිදි ගෙන්වීමට අවසර ලබා දිය යුතු බවට රජයට ඔවුහු දිගින් දිගටම ඉල්ලීම් කළහ. මෙම තත්ත්ව මත ඉදිරියේදී ශ්‍රි ලංකාවේ තේ අපනයනය සියයට 40කන් පමණ පහත වැටිය හැකි බව පසුගියදා පැවති තේ වැවිලිකරුවන්ගේ සම්මේනයේදී ද කතා බහට ලක්ව තිබිණි.

Exit mobile version