තමන්ගේ මානව හිමිකම් කඩවූ බව කියමින් මාම්පිටිය රෝහලේ සේවය කරන පළමු ශ්‍රේණියේ වෛද්‍යවරියක විසින් මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට හා මාම්පිටිය රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරිවරයාට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
හදිසි අනතුරකට ලක්ව පාදයේ ආබාධයක් ඇතිවීම හේතුවෙන් රාජකාරි කිරීමට ඇති අපහසුතාව මත මාම්පිටිය ප්‍රාදේශීය රෝහලින් පේරාදෙණිය ශික්ෂණ රෝහලට තාවකාලික ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය මාර්තු මස 21 දින නිර්දේශ කර ඇතත් මාස ගණනාවක් තිස්සේ අදාළ ස්ථාන මාරුව ඇයට ලබා නොදෙන බව ද වෛද්‍යවරිය මානව හිමිකම් කොමිෂන් සභාවට ප්‍රකාශ කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝග වලට අනුකූලව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ මාම්පිටිය රෝහලේ ස්ථානභාර වෛද්‍ය නිලධාරිවරයා කටයුතු කිරීම නිසා තමන්ට පසුගිය මැයි 06 සිට 24 දින දක්වා අසනීප නිවාඩු ලබා ගැනීමට සිදුවූ බව ද ඇගේ පැමිණිල්ලේ සඳහන් වෙයි.
පසුගිය පෙබරවාරි මස 11 දින රාජකාරි සඳහා පැමිණෙමින් සිටිය දී අනතුරට ලක්වීම හේතුවෙන් කිහිලිකරු භාවිත කිරීමට සිදුව තිබෙන බවත් මේ හේතුවෙන් මාම්පිටිය රෝහලේ දෙවන මහලේ ඇති වාට්ටු වෙත ගොස් රෝගීන් පරීක්ෂා කිරීමේ හැකියාවක් නොමැති බවත් වෛද්‍යවරිය පැමිණිල්ල මගින් සඳහන් කර තිබේ.
මේ පිළිබඳව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගලගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ මාම්පිටිය රෝහලේ එකම වහලක් යටතේ රෝගී ප්‍රතිකාර ඒකකයක් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක බැවින් අනුප්‍රාප්තිකයෙකුගෙන් තොරව කිසිම වෛද්‍යවරයෙකුට ස්ථාන මාරුවීමක් ලබා දිය නොහැකි බවය.
වෛද්‍යවරුන්ගේ සෙසු සෞඛ්‍ය සේවකයින්ගේ අයිතිවාසිකම් මෙන්ම රෝගී අයිතිවාසිකම් ගැන ද අවධානය යොමු කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන කාර්යයක් බවද ඔහු අවධාරණය කළේය.







