ජිනීවාහි ශ්‍රී ලංකා සංගමය කොවිඩ් සටන සඳහා ස්පන්දන ඔක්සිමීටර එවයි

ශ්‍රි ලංකාවේ කෝවිඩ් 19 වසංගතයට එරෙහිව වේගයෙන් ප්‍රතිචාර දැක්වූවන් ලෙස ස්විට්සර්ලන්තයේ ජිනීවා හි වෙසෙන ශ්‍රි ලාංකිකයන්ගෙන් සැදුම්ලත් ජිනීවා ශ්‍රී ලංකා සංගමය (SLAG) පසුගියදා ගුවන් මගින් ශ්‍රී ලංකාවට හදිසි වෛද්‍ය ආධාර එවීමට පියවර ගත්තේය. එ අනුව ඔවුන් තම සාමාජිකයින්ගෙන් මේ සඳහා අරමුදල් එකතු කිරීමක් ආරම්භ කළ අතර සතියක් ඇතුළත ස්විට්සර්ලන්ත ෆ්‍රෑන්ක් 5000 කට ආසන්න සංඛ්‍යාවක් ඒ සඳහා එකතු කරන ලදී.

ශ්‍රී ලංකාවේ අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම හා සමානව බෙදා හැරීම සිදු කිරීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා අභ්‍යන්තර වෛද්‍ය විද්‍යායතනයේ (SLCIM) නිලධාරීන් සමඟ මෙන්ම කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර සහ වෛද්‍ය තුෂාර මතියස් යන මහත්වරුන් සමඟ සාකච්ඡා කළ අතර ඒ අනුව ස්පන්දන ඔක්සිමීටර 250 ක් මිල දී ගෙන වහා ශ්‍රී ලංකාවට එවීමට සංගමය කටයුතු කර ඇත.

එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය(NHS) අනුමත කරන ලද මෙම ඔක්සිමීටර තොගය පසුගියදා කොළඹදී වෛද්‍ය සතිස්චන්ද්‍ර සහ කණ්ඩායම විසින් භාර ගන්නා ලදී. ශ්‍රී ලංකා අභ්‍යන්තර වෛද්‍ය විද්‍යායතනය(SLCIM) විසින් මෙම උපකරණ රට තුළ අවශ්‍ය ප්‍රදේශ ආවරණය වන පරිදි බෙදා හැරීමේ සැලැස්මක් සකස් කර ඇත. කොළඹ ජාතික රෝහල ඇතුළු ඇතැම් ආයතනවලට දැනටමත් ඔක්සිමීටර ලැබී තිබේ. SLAG හි මෙම පළමු අදියර සඳහා SLCIM දරන උත්සාහය සහ මග පෙන්වීම SLAG අගය කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාවට උපකරණ නැව්ගත කිරීමට පහසුකම් සැපයීම පිළිබඳව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ තානාපති සහ නිත්‍ය නියෝජිත සීඒ.චන්ද්‍රප්‍රේම මහතා සහ නියෝජ්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මියට ජිනිවා හි ශ්‍රි ලංකා සංගමය තම ස්තූතිය පළ කරයි.
SLAG හි දෙවන අදියර සඳහා SLAG දැන් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හා ජිනීවා හි නිත්‍ය මෙහෙවර සමඟ කටයුතු කරමින් සිටින අතර එහිදී ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 ප්‍රතිචාරයට සහය දැක්වීම සඳහා ඔක්සිජන් සාන්ද්‍රක සහ වෙනත් වෛද්‍ය භාණ්ඩ යැවීමේ හැකියාව පිළිබඳව ඔවුහු සොයා බලමින් සිටිති.

 

Oximeters

Exit mobile version