ජාතික ලයිස්තුවට අම්පාරෙන් කෙනකු දැම්මාට ටී.එන්.ඒ ඇතුළේ විරෝධයක්

දිනසේන රතුගමගේ:

දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයට අම්පාර දිගාමඩුල්ල ප්‍රදේශයේ තවරාසා කලෙයිඅරසන් මහතා පත් කිරීමත් සමගම දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ ඊට විරෝධය පළ කර තිබේ.

මේ ප්‍රතිවිරුද්ධ මත නිසා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර දැඩි මතභේදකාරී තත්ත්වයක් උද්ගතව ඇති අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ හමුවක් පැවැත්වීමට යෝජනා කොට තිබේ.


දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මහතා කියා සිටියේ මේ පත්කිරීම සම්බන්ධයෙන් ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා හා සුමන්තිරන් මන්ත්‍රීවරයා පමණක් සාකච්ඡා කොට තීරණයක් ගැනීම බරපතල වරදක් බවයි.

අම්පාර දිගාමඩුල්ල ප්‍රදේශයේ සිංහල හා මුස්ලිම් ජාතිකයින්ද බහුලව වෙසෙන නිසා එම පළාතට නව මන්ත්‍රීවරයෙකු පත් කිරීමේදී මීට වඩා සැලකිළිමත් වියයුතු බව අඩෙයිකලනාදන් මහතාගේ අදහසයි.

දෙමළ ජාතික සන්ධානයේන් මහ මැතිවරණයට ඉදිරිපත් වී පරාජය වූවෙකුට මන්ත්‍රීධූර ලබා නොදෙන බවට පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් තීරණයක් ගෙන තිබියදී එම තීරණය වෙනස් කිරීම ගැන තමන් තුළ ඇත්තේ දැඩි කම්පාවක් බවද අඩෙයිකලනාදන් මහතා මාද්‍යවේදීන් අමතා මනාරමේදී පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සහ ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා යාපනයේ සිට මාධ්‍යයට පැවසුවේ දෙමළ ජාතික සන්ධානයට ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් සම්බන්ධව සිටියදී තීරණ ගැනීමේදී එහි නායකයා හා තවත් අය ඔවුන්ට අවශ්‍ය තීරණ ගැනීම බරපතල වරදක් බවයි.

ඔවුන් මේ ගන්නා ලද තීරණය පිළිබදව ටෙලෝ නායකයා සමගද ප්ලොට් සංවිධානය සාකච්ඡා කොට වහාම තීරණයක් ගන්නා බව සිද්ධාර්ථන් මහතා පැවසීය.

මේ අතර උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ.ශිවඥාණම් මහතා කියා සිටින්නේ ජාතික ලයිස්තු මන්ත්‍රීධුරය මැතිවරණයට ඉදිරිපත් වී පරාජය වූවෙකුට ලබාදීමට දෙමළ ජාතික සන්ධානයේ නායකයා තීරණය කළේ නම් ඒ සදහා නියම සුදුස්සා මාවෙයි සේනාධිරාජා මහතා බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සේනාධිරාජා මහතා පක්ෂය වෙණුවෙන් විශාල සේවාවක් ඉටුකොට තිබියදී ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය ලබාදීම එවැනි අයෙකුට ලබාදීමට සෙසු අය සමග නායකත්වය සාකච්ඡා කළ යුතු බවද ඔහු පවසයි.

Exit mobile version