ජනපති හා ශ්‍රී.ල.නි.ප අතර පැයකට සැලසුම් කළ සාකච්ඡාව පැය 03ක් ඇදෙයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපතිවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පැය තුනකට ආසන්න කාලයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විනි

පැයකට නියමිත වී තිබුණු මෙම සාකච්ඡාව මතුවූ කරුණු සම්බන්ධව වැඩි අවධානයක් යොමු කිරීම සඳහා පැය 03ක් තෙක් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර ලංකාසරට පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට ඉහළට සියලුම දෙනා දැඩි කලකිරීමක පසුවන බැවින් ඔවුන්ට සාධාරණයක් ඉටු කර පක්ෂයේ පහළ ස්ථරය ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුව පැත්තෙන් ඉටුවිය යුතු කරුණු කාරණා ගණනාවක් කෙරෙහි මෙහිදී අවධානය යොමු වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ප්‍රමුඛ මහජන නියෝජිතයන්ටද පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන්ට මෙන් නිසි ලෙස මුදල් ප්‍රතිපාදන වෙන් කරමින් ප්‍රාදේශීය සංවර්ධනය හා වෙනත් වැඩ කටයුතුවලට ඔවුන් ද හවුල් කරගත යුතු බවට මෙහිදී ශ්‍රී.ල.නි.ප කණ්ඩායම ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

දැඩි කලකිරීමට පත්ව සිටින ශ්‍රී.ල.නි.ප මහජන නියෝජිකයින්ට ආණ්ඩුව උදව් කර ඔවුන් ආරක්ෂා කරනොගතහොත් වෙනත් දේශපාලන බලවේග සමග ඔවුන් එකතුවීමේ ඉඩකඩ වැඩි බව ද මෙහිදී පෙන්වා දී තිබේ.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙ පහළ ස්ථරය ආරක්ෂා කරගත නොහැකි බවත් ඔවුන් දිගින් දිගටම ආණ්ඩුවේ සංවර්ධන කටයුතු වලින් ඈත් කර තබා ඇති බවත් ඒ තත්වය තම පක්ෂයේ ඉදිරි ගමනට දැඩි සේ බලපා ඇති බවත් මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් පෙන්වා දී ඇත.

පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කරමින් රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අවශ්‍යතාවය ශ්‍රි.ල.නි.ප නියෝජිතයන් පෙන්වා දී ඇති අතර ඒ සඳහා කඩිනමින් පියවර ගැනීමට ජනාධිපතිවරයා එකඟතාව පල කර තිබේ.

සමස්ථ ව්‍යවස්ථාවම කඩිනමින් සංශෝධනය කිරීමට නොහැකිනම් අඩුම තරමින් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම වැදගත් බව ශ්‍රි.ල.නි. ප නියෝජිතයන් පෙන්වා දී ඇත. එය ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වී තිබේ.

වර්තමානයේ උද්ගතව ඇති ගුරු වර්ජනයත්, පොහොර ගැටලුවත් ඇතුළු තවත් කාරණා ගණනාවක් සාකච්ඡාවට ලක් කළ කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී.ල.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් මේ සකච්ඡාව සඳහා ශ්‍රී.ල.නි.ප.ය වෙනුවෙන් සහභාගී වූහ.

Exit mobile version