චේතනාන්විතනව අධිකරණ කටයුතු ප්‍රමාද කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන්නේ නම් එය අධිකරණයට අපහාස කිරීමක් සේ සැලකිය හැකි බව අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අධිකරණයට, විනිශ්ඡය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත පිළිබඳව රාජ්‍ය නිලධාරින් දැනුම්වත් කිරීමේ වැඩමුළුවකට ඊයේ (24) දිනයේ දී එක් වෙමිනි.
මේ වනකොට රජයේ නිලධාරින්ට විරුද්ධව අභියාචනාධිකරණයේ ගොනු කරලා තියන නඩු ප්‍රමාණය අති මහත්. මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමාට විරුද්ධව සහ මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට විරුද්ධව අධිකරණයේ නඩු පවරලා තියනවා.
ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අධිකරණයට අපහාස කිරීමේ නඩු මත රූල් එකකුත් ගත්තා. ඒ රූල් එකක් ගත්තට පස්සේ ඔහුව චූදිතයෙක් කරලා චූදිතයාව රිමාන්ඩ් බන්ධනාගාරගත කළ හැකියි.
ඒ නිසා මේ නීතිය පිළිබඳව රජයේ නිලධාරීන් දැනුම්වත් වී සිටීම ඉතාම වැදගත්. මෙතන ඉන්නේ ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය සේවයේ මුර දේවතාවුන්… දේවතාවියන්…
ඔබතුමන්ලා ඔබතුමියන්ලා අපහසුතාවයට පත් වුනාම එසේ අපහසුතාවයට පත් වෙන්නේ එක්ස් කියන පුද්ගලයා නෙමෙයි. ශ්‍රි ලංකා ජනරජය.
මේ පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කරලා ප්‍රශ්නය ඔඩු දුවලා නීතිපති දෙපාර්තමේන්තුවට ප්‍රශ්නය එනකොට අපටත් අපහසුතාවයට පත් වෙනවා පියවර ගන්න.
අපි දැනට තීරණයක් අරන් තියනවා අධිකරණය රිතියක් නිකුත් කළත් කරුණු වරදවා දක්වා නිවේදනය කරලා තියනවා නම් නීතිපතිවරයා එ් රජයේ නිලධාරීන් ආරක්ෂා කරන්න පෙනී සිටිනවා
හැබැයි මේ සීමාව අපට සමහර වෙලාවට සිදුකරලා තියන වැරැද්ද අනුව අපට කරන්නත් පුලුවන් වෙයි. බැරිත් වෙන්න පුලුවන්. ඒක විෂය ගත කාරණාවක්.
අධිකරණය ඉදිරියේ කටයුත්තක් තියනවා නම් එය දේවකාරිය සේ සලකලා කරුනාකරලා නීතපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය සහයෝගය දක්වන්න. නීතිපති දෙපාර්තමේන්තුවෙන් එවන උපදෙස්වලට නොපමාව කටයුතු කරන්න.
මොකද වර්තමානයේ ප්‍රවනතාවයක් ඇවිත් තියනවා… අධිකරණවල නඩු ප්‍රමාණය වැඩියි. අධිකරණ කැමති නෑ දිනෙන් දින නඩු කල් යනවට. ඒ නඩු කල් යන හේතුව රජයේ නිලධාරියෙකුගෙන් ලැබිය යුතු වාර්තාවක් නොලැබීම නම් එය චේතනාන්විතව ප්‍රමාද කිරිමක් නම්, එම හැසිරීම අධිකරණයට අපහාස කිරීමක් විදිහට සලකන්න පුලුවන්. “ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීවේය.







