චම්පිකගේ 43 වැනි සේනාංකයට සජබ‍යෙන් විවේචන

ඉම්තියාස්,මද්දුම බණ්ඩාර සහ ෆොන්සේකාගෙන් විරෝධයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ගොඩනැගීමට යන 43 වන සේනාංකය නමැති නව බලවේගයට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ දැඩි විරෝධය පළ වී ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් රැස්වූ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රධාන මාතෘකාව බවට චම්පික රණවක මහතා ගොඩනගන නව බලවේගය පත්ව තිබූ අතර ඊට ඉමිතියාස් බාකීර් මාකර්, රංජිත් මද්දුම බණ්ඩාර, සරත් ෆොන්සේකා වැනි මන්ත්‍රීවරු දැඩි විරුද්ධත්වය පළ කරමින් එවැනි බලවේගයක් ගොඩනැගීම තුළින් අනාගතයේ අනවශ්‍ය ප්‍රශ්න මතුවිය හැකි බව පෙන්වා දී තිබේ.

43 වැනි සේනාංක බලවේගය ගොඩ නංවන්නේ පටු අරමුණුවල නොසිට බවත් රටේ උගතුන් බුද්ධිමතුන්ගේ දැඩි ඉල්ලීම මත එය ගොඩනඟන බවත් චම්පික රණවක මහතා කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.


සමගි ජන බලවේගයට එක්වීමට අකමැති වෙනත් බලවේග 43 වැනි සේනාංකය හරහා එකතු කරගෙන ජයග්‍රාහී ගමනක් යා හැකි බව පෙන්වා දී තිබෙන රණවක මහතා එවැනි බලවේගයක අවශ්‍යතාවය පිළිබදව දීර්ඝ ලෙස කරුණු දක්වා ඇත.

මේ මොහොතේ එවැනි බලවේගයක කිසිදු අවශ්‍යතාවයක් නැති බව පෙන්වා දී ඇති සරත් ෆොන්සේකා මහතා එවැනි බලවේග පිහිටුවා ගැනීමෙන් පසු ජනාධිපති අපේක්ෂකත්වය ඒ බලවේගයට ලබාගැනීම වැනි අර්බුද මතු විය හැකි බව අවධාරණය කර ඇත.

මෙම බලවේගය ගොඩ නැගීමෙන් පසු ඉදිරි ජනාධිපතිවරණයට එම බලවේගයේ ජනපති අපේක්ෂකයෙක් පත් කළ යුතු බවට තීරණය කළොත් සමගි ජන බලවේගයට කුමක් වෙන්නේ ද යන්න ප්‍රශ්න කර ඇති ෆොන්සේකා මහතා මේ ගැන සමගි ජන බලවේගය දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව පවසා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි බලවේගයක් ගොඩනැංවීම හොඳ ක්‍රියාවක් බවත් එය ගොඩනැගීමේ දී සමගි ජනබලවේගයේ මහ ලේකම්වරයා සමග සාකච්ඡා කර විධිමත් ආකාරයට ගොඩනැගීමට කටයුතු කරනවා නම් ප්‍රශ්න මතු වීමට තිබෙන ඉඩකඩ මඟහැරෙනු ඇති බව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පෙන්වා දී ඇත.

Exit mobile version