“කෙළින්ම ඇවිත් මට කියන්න – මාධ්‍යයට කියා ජනතාව බය කරන්න එපා”

ජනපති සෞඛ්‍ය විශේෂඥයන්ට කියයි

gotabaya rajapaksa

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ රජයේ නිලධාරීන් සහ වගකිව යුතු පිරිස් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ පමණක් පෙනී සිටිමින් ජනතාව බියට පත් කරනු වෙනුවට යම් කරුණක් වේ නම් ඒ පිළිබඳව සෘජුවම තමාට දැනුම් දීම වඩා වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
මෙතෙක් තීරණ ගනු ලැබුවේ ද, ඉදිරියට තීරණ ගනු ලබන්නේ ද අදාළ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් අනුව බව ජනාධිපතිවරයා කියාසිටියේ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.
ජනතාව වෙනුවෙන් ඕනෑම නිවැරදි තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය . PCR පරීක්ෂණ සිදුකරන රජයේ හෝ පෞද්ගලික ආයතන පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙකු හඳුනා ගතහොත් එම ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම අදාළ ආයතනයටම සෘජුව පැවරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.
ආසාදිතයන්ට ප්‍රතිකාර කිරිමේ දී ආයුර්වේද රෝහල් පද්ධතියේ පහසුකම් ද යොදා ගැනීමට තීරණය කෙරිණි.
කොවිඩ් පාලනය සඳහා අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැණවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට එම හමුවේදී තීරණ රැසකට එළැඹ තිබේ.
ඒ සඳහා ගතයුතු පහත ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපතිවරයා අමාත්‍යවරුන් සහ අදාළ නිලධාරීන් දැනුවත් කළේය.
සංචරණ සීමා පැනවෙන කාලය තුළ කර්මාන්ත ශාලා අඛණ්ඩව පවත්වාගෙන යාම, ඔසුසල් විවෘතව තැබීම, බේකරි නිෂ්පාදන අඛණ්ඩව සිදුකිරීම සහ බෙදාහැරීමට ක්‍රමවේදයන් සැකසීම, නැව් භාණ්ඩ බෙදාහැරීමේ ආයතන (Shipping Line) විවෘතව තැබීමට පියවර ගත යුතුය.
ප්‍රාදේශීයව ජංගම සේවා යොදා ගනිමින් කිසිදු හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදාහැරීමට ද ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.
මැයි මස 25 සහ 28 දෙදින සංචරණ සීමා ඉවත් කෙරුණ ද ජනතාවට නිවසින් බැහැර යාමට අවසර හිමි වන්නේ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට පමණි. විදේශ රටවල් කිහිපයකින් ඇණවුම් කර ඇති එන්නත් වර්ග කිහිපයක් ඉදිරි දිනවලදී මෙරටට ලැබීමට නියමිතය. එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කර පවතින තත්ත්වය කඩිනමින් පාලනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
සංචරණ සීමා පවතින කාලසීමාවේදී ජනතා අවශ්‍යතා සපුරාලීමට ගෙන ඇති පියවර පිළිබඳ අමාත්‍යවරු ජනාධිපතිවරයා දැනුවත් කළහ.
වසංගතය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසි පරිදි පිළිපැදීම ජනතාවගේ වගකීම සහ යුතුකම බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණී ලොකුගේ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහූ, ත්‍රිවිධ හමුදාපතිවරු, සෞඛ්‍ය අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Exit mobile version