මහනුවර ඇසළ පෙරහර වීදි සංචාරය කිරීම සඳහා නැකතට වෙඩි මුර පත්තු කළ පසු පෙරහර ගමන් කරනා මාර්ගය හරහා පැනීමෙන් වස් වදින බව පුරාතන විශ්වාසයක් බවත් එය ඔප්පු කරමින් පෙරහර ආරම්භ කළ පසු එය ගමන් ගන්නා මාර්ගය හරහා ගිය මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරුන්ට වස් වැදුන බව කවුරු කවුරුත් සිහි කරගැනීම වැදගත් බවත් මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර පැවසුවේය.
මෛත්‍රීපාල සිරිසේන වරකට වඩා ජනාධිපතිධුරයේ සිටින්නට නොහැකි වූවා මෙන්ම ඔහුට සිය නිල ධූරකාලය ද සම්පූර්ණවූ පසු අන්ත පරාජයකට පත් වී විසිවුන බව කී බස්නායක නිලමේවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සිය ධුර කාලය නිමාවන තුරු වත් සිටින්නට නොහැකි වූ බව පෙන්වා දුන්නේය.
පෙරහැර මංගල්‍යය උතුම් පූජෝපහාරයක් මිස සාමාන්‍ය පෙරහරක් නොවන බවද හෙතෙම කියා සිටියේය.
එදා ඔවුන් ජනාධිපතිවරුන් ලෙස කටයුතු කරද්දී එවකට ආරක්ෂක අංශ ඒ ඒ ජනාධිපතිවරුන්ට පෙරහර මග හරහා යාමට ඉඩ ලබාදුන් බව ද කියා සිටියේය.
“මහනුවර ශ්‍රී දළදා මාලිගාව තමයි සිංහල ජාතියේත්, බෞද්ධ ආගමේත් උත්තරීතර සංකේතය… රාජ්‍යයත්, ආගමත් එකිනෙකට යා කොට බැඳ තබා ගනිමින් වසර එක් දහස් හයසියයකට වඩා අධික කාලයක් මුළුල්ලේ දිවයිනේ නොයෙකුත් රාජධානි තුළ සැදැහැවත් බෞද්ධ නරපතියන් ඉදිකළ දළදා මැඳුරුවල සෙවන හා රැකවරණය ලබමින් උන්වහන්සේ නොකඩවා පූජාවට ලක් වුනා. මෙම පූජෝපහාරය කෙතරම් බලවත් ද යන්න තහවුරු කර ගත යුතුයි…” හෙතෙම කීය.