ගම්පොල රෝහලම අඩාල කළ දොස්තර සාදයේ අලුත්ම කතාව

ගම්පොළ ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු පැවැත්වූ සාදයකට සහභාගි වූ විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකු ඇතුළු වෛද්‍යවරු 50 ක් හා හෙද කාර්ය මණ්ඩලයේ 19 ක් සමඟ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 13 ක් ද රෝහල් පොලිස් ස්ථානයේ සිව් දෙනෙකුද නිරෝධායනයට යොමුකර තිබෙන සෞඛ්‍ය අංශ පවසයි.

මේවන විට රෝහලේ බාහිර රෝගි අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය ඇතුළු වාට්ටු කිහිපයක් වසා දැමීමට පියවර ගෙන තිබේ. රෝහල් අධ්‍යක්ෂ චමිල් විජේකෝන්  පවසන්නේ ආරක්ෂක පියවරක් ලෙස රෝහලේ සිටි ගැබිණි මව්වරු පේරාදෙණිය ශික්ෂණ රෝහලට හා මහනුවර ජාතික රෝහලට මාරුකර යැවූ බවයි.

බාහිර රෝගී අංශය වසා දැමුවද උණ රෝගීන් පැමිණියහොත් ඔවුන් භාර ගන්නා බවද අධ්‍යක්ෂයරයා කීය. අකුරණ ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත වෛද්‍යවරයා ගම්පොළ ශික්ෂණ රෝහලේ වසර දෙකක් සේවය කර ඇත. පශ්චාත් සීමාවාසික පුහුණුවෙන් පසු වෙනත් රෝහලට ස්ථාන මාරුවක් ලැබ යාමට සිටි නිසා ඔහු පසුගිය 04 දින රෝහලේදී හෙද කාර්ය මණ්ඩලයට හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට සංග්‍රහක් පවත්වා තිබේ.


එදිනම රාත්‍රියේ ගම්පොළ නගරයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකදී වෛද්‍යවරුන් වෙනුවෙන් සාදයක් පවත්වා ඇත. මෙම වෛද්‍යවරයාගේ බිරියද වෛද්‍යවරියක් වන අතර ඇයට කොවිඩ් වෛසරය  ආසාදනය වී තිබෙන බව තහවුරු වීමෙන් පසු මෙම වෛද්‍යවරයාට පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර තිබේ. එහි ප්‍රතිපල 06 වෙනිදා රාත්‍රියේ ලැබී තිබෙන අතර එහිදී වෛද්‍යවරයාට වෛරසය ආසදනය වී තිබෙන බව තහවුරුවී ඇත.

ගම්පොළ ශික්ෂණ රෝහලේ  ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරු දෙදෙනාම නිරෝධායනයට ලක්කර සිටින බැවින් ඒ වෙනුවට වෛද්‍යවරු රෝහලට යොමුකරන සෞඛ්‍ය අංශ වලින් ඉල්ලීම් කර තිබෙන බව රෝහල්  අධ්‍යක්ෂයරයා කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිරෝධායනයට යොමුකර සිටින රෝහල් පොලීසියේ නිලධාරීන් සිව්දෙනා වෙනුවට වෙනත් තිදෙනෙකු ගම්පොළ පොලීසිය මගින් රෝහලේ සේවයට යොදවා ඇත.සිද්ධිය සම්බන්ධයෙන්  ගම්පොළ උඩ පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,නගර සභා සෞඛ්‍ය අංශය,සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Exit mobile version