ගම්පහ දිස්ත්‍රික් රෝහල ඇතුළු රෝහල් කීපයක වර්ජන…

කටයුතු මුළුමනින්ම අඩපණයි... ගම්පහ රෝහල් අධ්‍යක්ෂ කියයි...

කීර්ති ප්‍රනාන්දු –

රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගැනීම් සිදුකිරිමේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්මත බඳවා ගැනීම් පටිපාටිය මුළුමනින්ම උල්ංඝණය කිරීමට විරෝධය පල කරමින් අද (24) ගම්පහ දිස්ත්‍රික් රෝහල මුල් කරගෙන දිවුලපිටිය දිසා රෝහල, වතුපිටිවල දිසාරෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල, මීරිගම මූලික රෝහල ඇතුළු   රජයේ රෝහල් පද්ධතියේ  සෞඛ්‍ය කාර්ය සහායකයන්  තවත් සෞඛ්‍ය අංශ කිහිපයක් සමග එක්ව වැඩ වර්ජනයක නිරතවෙමින් සිටිති.

අද උදෑසන 7 සිට හෙට උදෑසන 7 දක්වා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා ජනරජ  සෞඛ්‍ය සේවා සංගමයේ  ගම්පහ ශාඛාවේ සභාපති ආර්.කේ.පී රත්නායක ලංකාසරට පැවසීය. ඔවුන් සමග සෞඛ්‍ය සේවක අංශ 19ක් මෙම වර්ජනයට එක්ව ඇතැයි සභාපතිවරයා පැවසුවේය.

ලේ බැංකුවේ හා මෘත ශරීරාගාරයේ සේවයකයන් හැර ගම්පහ රෝහලේ සේවකයන් 210ක්,  දිවුලපිටිය රෝහලේ 50ක්, මිනුවන්ගොඩ රෝහලේ 50ක්, මීරිගම රෝහලේ 75ක් මෙම වර්ජනයට එක්ව ඇතැයි ඔහු වැඩිදුරටත් කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගම්පහ දිස්ත්‍රික් රෝහලේ දෛනික කටයුතු මේ වර්ජනයත් සමග මුළුමනින්ම ඇනහිට ඇතැයි වාර්තා වේ. මේ පිළිබඳව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුමගෙන් විමසූ විට ඔහු ලංකාසරට පැවසුවේ  රෝහලේ කටයුතු පවත්වාගෙන යෑමට සිදුවී ඇත්තේ දැඩි අපහසුතා මධ්‍යයේ බවය.

Exit mobile version