කොවිඩ් සටනේ නියමුවෙක් වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අමාත්‍යංශ කොවිඩ් උපදේශන කමිටුවෙන් ඉල්ලා අස්වෙයි.

Ananda-W

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රි ලංකාවේ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් ක්‍රියා කරන ඉදිරිපෙළ ප්‍රමුඛතම වෛද්‍යවරයකු වන කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් සම්බන්ධ ප්‍රධාන පෙළේ උපදේශන කමිටුවකින් ඉල්ලා අස් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කිසිදු විද්‍යාත්මක පසුබිමක් නොමැතිව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හම්බන්තොට වයස අවුරුදු 20ත් 30ත් අතර පුද්ගලයන්ට ෆයිසර් එන්නත ලබා දීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය විජේවික්‍රම තුළ පවතින අප්‍රසාදය මෙම ඉල්ලා අස්වීමට ආසන්නතම හේතුව බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙරට කොවිඩ් රෝගීන් කළමනාකරණය සම්බන්ධ තීරණාත්මක වෛද්‍යවරයකු ලෙසින් කාගෙත් පිළිගැනීමට ලක්ව සිටින මෙම විශේෂඥ වෛද්‍යවරයා කොවිඩ් රෝගය පාලනය සම්බන්ධ තාක්ෂණික කමිටු කිහිපයක්ම නියෝජනය කරන වෛද්‍ය විද්‍යා විද්වතෙකි.

මෙම තාක්ෂණික කමිටුව නියෝජනය කරන විශේෂඥයන්ගේ මූලික අදහස් වී තිබුණේ වයස අවුරුදු 18ත් 30ත් අතර කණ්ඩායමට සයිනෝෆාම් එන්නත ලබා දීම වඩාත් සුදුසු වන අතර අවදානම් කණ්ඩායම් සඳහා ෆයිසර් එන්නත් ඉතිරි කර ගැනීම එහි විද්‍යාත්මක අරමුණ වී තිබේ.

කෙසේ වුවද එම විද්‍යාත්මක පදනම බිඳ දමමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ එම වයස් කාණ්ඩයේ පුද්ගලයන් සඳහා ෆයිසර් එන්නත් 50,000ක් නිකුත් කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික කමිටු නියෝජිතයන් මෙන්ම ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය,විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය සංගම් ගණනාවක් ද සිය විරෝධ පළ කොට තිබිණ.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් ඇගයීමේ කමිටු සාමාජිකයකු ලෙසින්ද ක්‍රියා කළ අතර දැනට තවමත් මෙරට භාවිත නොවන චීන එන්නතක් අනුමත කර ගැනීම සඳහා ද යම් පාර්ශ්වයක් ඔහු වෙත බලපෑම් කර තිබූ බව ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

කෙසේ වුවද මේ පිළිබඳව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් විමසීමට ලංකාසර උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

Exit mobile version