කොවිඩ්වලට “බලු බෙහෙත්“ දෙන පිස්සුව නවත්වන්න… විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් අධ්‍යක්ෂ ජනරාල්ට ලියති

කොවිඩ් 19 වෛරසය වැළැක්වීම හෝ ඊට එරෙහිව ප්‍රතිකාරයක් ලෙස  ලෝකය පුරා මත පළ වුණු අයිවමෙක්ටින් (Ivermectin) නැමැති ඖෂධය  ශ්‍රි ලංකාව තුළ භාවිතයෙන්  වළකින ලෙස ජ්‍යෙෂ්ඨ වෛද්‍ය විශේෂඥයෝ මහජනතාවට කියති.

එසේම කොවිඩ් මරණ  අඩු කර ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව ද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පසුගියදා ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ දැනට කොවිඩ් රෝගය වළක්වා ගැනීමේ පූර්ව ඖෂධයක් ලෙස අයිවර්මෙක්ටින් භාවිත කිරීම සුදුසු   බවට තහවුරු වන කිසිදු විද්‍යාත්මක සාධකයක් ලැබි නොමැති හෙයින් එය භාවිත කිරීමට අනුමත නොකළ යුතු බවටය.

මෙම ඖෂධය සේම හයිඩ්‍රොක්සිලෝරොක්වීනින්,  විටමින් ඩී, විටමින් සී වැනි ඖෂධ ද කොවිඩ් රෝගය පාලනය කිරීම සහ කළමනාකරණය   සඳහා ක්‍රියා කරන බවට විද්‍යාත්මක සාධක තවමත් නොමැති බවද එහි සඳහන් කර තිබේ.


මෙරට කොවිඩ් වසංගතය හමුවේ ඉදිරි පෙළ ක්‍රියා කරන පුමුඛ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන වෛද්‍ය ආනන්ද විජේවික්‍රම  ඇතුළු විශේෂඥයන් 14 දෙනකු මේ බව පෙන්වා දෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට   මෙම ලිපිය ලියා ඇත. මෙම ඖෂධය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා දැනට දේශීය අධ්‍යයනයක් සිදු කෙරෙමින් පවතින නමුත් එය තවමත් අනුමත කර නැති නමුත් එය භාවිත කිරීමට ඇතැම් පුද්ගලයන් හුරු වි සිටින බව මෙම විශේෂඥයෝ පවසති.

අයිවර්මෙක්ටින් යනු පරපෝෂිත ආසාදන වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ඖෂධයක්  වන අතර විශේෂයෙන් සතුන්ට වැලඳෙන   පරපෝෂිත ආසාදනවලදී බහුලව භාවිත වෙයි.

මෙම ඖෂධයේ පේටන්ට් අයිතිය හිමි නිෂ්පාදකයා වන මර්ක් සමාගමද මීට ටික කලකට ඉහත දී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ අයිවමෙක්ටින් ඖෂධය සතුන්ගේ පරපෝෂිතයන් සම්බන්ධයෙන් ප්‍රතිකාර කිරීමට නිර්මාණය කළ ඖෂධයත් බවත් එය කොවිඩ් හමුවේ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව සමාගමේ පර්යේෂකයන් තවමත් පර්යේෂණ කරමින් සිටින බවත්ය. එමෙ පර්යේෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් කොවිඩ් වෛරස ආසාදනයට එරෙහිව ක්‍රියා කරන ඖෂධයක් ලෙස තමන්ට නිර්දේශ කළ නොහැකි යයි නිෂ්පාදකයාද සඳහන් කර තිබුණි.

එවැනි තත්ත්වයක් පැවතුණද ලෝකයේ බොහෝ රටවල මෙම ඖෂධය සඳහා ඉල්ලුම දැඩි ලෙස වර්ධනය වී තිබේ.  මෙරටට ආනයනය කරන ලෙස සමහර උපදේශකයින් කළ ඉල්ලීමකට අනුව, වෙළඳපොළේ ඇති අයිවර්මෙක්ටින් පෙති පරිභෝජනය කරන පුද්ගලයින් පිළිබඳව පසුගිය දිනවල වැඩි වැඩියෙන් වාර්තා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියද හදිසි භාවිතය සඳහා අයිවමෙක්ටින් ගෙන්වීමට රජයට සම්බන්ධ ව්‍යාපාරික බලවතකුට වැඩි අයිතියක් හිමි ඖෂධ සමාගමකට අවසරය ලබා දී ඇති බවද සඳහන් වෙයි.

Exit mobile version