කුපාඩිකම් කරන ඇමතිලගෙ වැඩ ඉවසන්න බෑ… පොහොට්ටු මන්ත්‍රී ජගත් කුමාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් අස්වෙයි!

JAGATH-KUMARA

කුපාඩිකම් කරන ගාමිණී ලොකුගේ හා සරත් වීරසේකර ඇමතිවරුන් නිසා ජීවිතය බේරාගෙන තමන්ට පාදුක්ක කොට්ඨාසයේ වැඩ කිරීමට අපහසු බැවින් පාදුක්ක සම්බන්ධීකරණ සභාපති තනතුරින් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා වෙත දැනුම් දුන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර අද ( 17) මාධ්‍ය අමතා පැවසීය.

පිටු තුනකින් යුතු ලිපියක් ජනාධිපතිවරයා වෙත යවමින් තම ඉල්ලා අස්වීම දැනුම් දුන් බව කී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මේ කරන්නේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ගොංකම් වලට එරෙහිව ඇතුළින් නැගී සිටීම බවය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

“පාදුක්ක කොට්ඨාසයෙ පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කරලා ගාමිණී ලොකුගේට හිතවත් පොලිස් ස්ථානාධිපතිවරයෙක් දාගෙන.  පහුගිය දින කීපයක් තිස්සේ විෂය භාර සරත් වීරසේකර අමාත්‍යවරයාට දිගින් දිගටම කිව්වා මේ කුපාඩි වැඩේ කරන්න එපා කියලා.“


“මේ කොට්ඨාසයේ වැඩ කරන්නෙ මම. ස්වාධීන පොලිස් ස්ථානාධිපතිවරයෙක් හිටියා නම් අපට වැඩ කරන්න පුලුවන්. පොලිසිය දේශපාලන අතකොළුවක් වුණ පුද්ගලයෙකුට බාර දුන්නහම අපේ ආරක්ෂාව දෙයියන්ට තමයි බාර දෙන්න වෙන්නෙ. “

“සරත් වීරසේකර ඇමතිතුමා පහුගිය දිනවල උද්ඝෝෂණ   වෙලාවෙ හතර ගාතෙන් අපේ හාමුරුවරු වඩම්මගෙන යනකොට ඒ අශීලාචාර වැඩේ කරලා ආණ්ඩුවට චෝදනාවක් එන විදිහට  වැඩ කළාම මම ඒකට විරුද්ධව කතා කළා.“

“ඒ සිද්ධියට එතුමත් මාත් එක්ක යම්කිසි පටලැවිල්ලක් හදාගෙන ගාමිණි ලොකුගේ එක්ක එකතුවෙලා එතුමලා විසින් හසුරුවන දේශපාලන අතකොළුවක් පාදුක්ක පොලිසියට දාලා තියනවා.“

“මේ කොට්ඨාසයේ වැඩ කරනවා කියන්නෙ මගේ ජීවිතය බේරා ගැනීම පිළිබඳවත් ප්‍රශ්නයක්. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාට දැනුම් දුන්නා මම පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපතිකමින් ඉවත් වෙනවා. මේ වගේ කුපාඩි වැඩ කරන ඇමතිවරු කීපදෙනෙක්   එක්ක ඉවසලා වැඩ කරන්න අපට බෑ කියලා.“

“මේ ගැන මම අතිගරු ජනාධිපති තුමාට පිටු තුනකින් ලිපියක් ලියලා තියනවා. ආණ්ඩුවෙ ගොංකම් කරන ඇමතිවරුන්ට විරුද්ධව ඇතුලෙන් නැගී සිටීමක් මේ කරන්නෙ. “

“පොලිසිය භාර ඇමතිතුමා බලනවා දිස්ත්‍රික්කය ඇතුළෙම තමන්ට හිතවත් පොලිස් නිලධාරීන් දාගෙන ඒ අයව මෙහෙයවලා ඊලඟ චන්දෙත් වැඩියෙන් දිනන්න.  ඊගාව චන්දෙනම් එහෙම එන්නෙ නෑ කියලා දිස්ත්‍රික්කයේ මිනිස්සු කියනවා. “ යැයි මන්ත්‍රීවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු කළ ප්‍රකාශ ඇතුළත් වීඩියෝව පහත දැක්වේ.

Exit mobile version