පසුගිය 30 රාත්‍රී කහවත්ත පලන්සුරියගම හල්ලිද නිවසක සිටි 22 හැවිරිදි තරුණයෙක් සහ ඔහුගේ මිතුරෙක් අත් විලංගු දමා පැහැර ගෙන ගොස් ඇන්දාන කහවත්ත මාර්ගයේ උඩහවුපේ දළුග්ගල ප්‍රදේශයේ දී ඔවුන්ව දණ ගස්සා වෙඩි තබා එක් තරුණයෙක් ඝාතනය කර අනෙක් තරුණයාට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය පවසයි.
මෙම ඝාතනය සිදුකර ඇත්තේ දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින තනුජ සම්පත් නොහොත් හෝමාගම හඳයා නැමැති සංවිධානාත්මක අපරාධකරුවාගේ අවශ්‍යතාවය මත බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. වෙඩි තබා ඝාතනනය කරන 22 හැවිරිදි තරණයා ඉමන්ත සුරංජන නැමැත්තෙකි. ඔහු හඳයාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සිටි ගමේ තරුණයින් අතර කැපී පෙනෙන පුද්ගලයෙක් බව ද හෙළි වී ඇත.
ඝාතනය සම්බන්ධව අත් අඩංගුවට ගත් සිවු දෙනා හෝමාගම හඳයාගේ සමීපතමයින් බවත්, හෝමාගම, හා පාදුක්ක ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27ත් 29ත් අතර වයස්වල පසුවන මේ පුද්ගලයින් කිසිඳු රැකියාවක් නොකර හඳයාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට උදව් දෙන පිරිසක් බවත් විමර්ශන අංශ පවසයි. ඔවුන් සමග මෙම පැහැර ගැනීම සඳහා යොදා ගත් ජීප් රථයද සොයාගෙන ඇතැයි විමර්ශන අංශ කියයි. ඒ මීගොඩ පොලිස් වසමේ සඟවා තිබියදී ය.
ඊට අමතරව තවත් මෝටර් රථයක්, යතුරුපැදි 3ක්, ලියාපදිංචි අංක තහඩු 2ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 197ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 96ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
ඝාතනයට සෘජුවම සම්බන්ධ ඝාතකයින් ද මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඔවුන් ඉතා ඉක්මණින් අත්අඩංගුවට ගන්නා බවත් උසස් පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් අද දෙරණ වාර්තා කර ඇත.







