කපුවෝ රාජකාරි පංගුවට ඇවිලෙති… දෙවියන් දෙවොල තුළ හුදෙකලා කර අලවතුගොඩ සමන් දේවාලය සීල් තියයි!

අලවතුගොඩ සමන් දේවාලයට සීල් තැබීමට බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙයට දෙසතියකට පමණ ඉහත දී දේවාලයේ ප්‍රධාන කපුවා   මිය යෑමෙන් අනතුරුව කපුවන්ගේ රාජාකාරි පංගුව බෙදා ගැනිමට නොහැකිව ඇති වූ අර්බුදයක් හේතුවෙන් මෙම පියවර ගැනීමට බලධාරීන් තිරණය කර ඇත.

වාර්තාවන පරිදි අර්බුදය නිර්මාණය වී ඇත්තේ මිය ගිය කපුවාගේ සහෝදරයින්  දේවාලයේ රාජකාරි භාර කණ්ඩායම්වලට යතුරු භාර නොදීම හේතුවෙනි.

කපුවන්ගේ මේ ගැටුම නිසා අලවතුගොඩ සමන් දේවාලය සති දෙකක් තිස්සේ වසා දමා තිබිණි.


සම්ප්‍රදාය අනුව මිය ගිය මහ කපුවාගේ සහෝදරයින් එම මහ කපුවාගේම මළ ගෙදරට ගොස් ඇති නිසා ඔවුන් කිල්ලට අසුවී ඇතැයි ද ඒ කිලි හේතුවෙන් ඔවුන්ට දේවාලයේ රාජකාරි කිරීමට හැකියාවක් නැතැයි ද පැවසේ.

එහෙත් දේවාලයේ රාජකාරි කටයුතු කරගෙන යෑමට මිය ගිය මහ කපුවාගේ සහෝදරවරුන් යතුරු භාර නොදීම නිසා ඇති වූ තත්ත්වය පාලනය කරගැනීම සඳහා දේවලයට සීල් තැබීමට සිදුවූ බවත් මහනුවර නියෝජ්‍ය බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමක දී පැවසුවේය.

එම ප්‍රකාශකයා පැහැදිලි කරන්නේ මියගිය කපු මහතා ගේ සහෝදරයින් ඔවුන් ගේ ඥාතියෙකුට යතුරු බාර දීමට කැමැත්තෙන් පසුවුවත් සම්ප්‍රදායානුකූලව ඊට ඉඩක් නොමැති  බවය.

දැනට වාර්තාවන ආකාරයට මේ කපුවන්ගේ ආරෝව හේතුවෙන්  අලවතුගොඩ සමන් දේවාලයේ  හෙට (25) දිනයට යෙදී ඇති අලුත් සහල් මංගල්‍යයත් කඩාකප්පල් වන ලකුණු පහළ වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේවාලය විවෘත කරගැනීම සඳහා අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයාත්, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාත් විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත් වූ නමුත් ඒ වෙනුවෙන් නිශ්චිත තීරණයකට පිවිසිය නොහැකි වී ඇත.

Exit mobile version