ඔන්ලයින් කරන්න කිසිම පහසුකමක් නොදී ගුරුවරුන්ගෙන් ප්‍රගතිය වාර්තා ඉල්ලන්න එපා –

Online-Teaching


රටේ සිසු පරපුරින් සියයට හැටක් පමණ අධ්‍යාපන ක්‍රියාවලියෙන් පිටමං වී ඇති පසුබිමක, ඔවුන් මානසික ආතතියකින් පෙළෙන පරාජිතයන් කර ඇති වටපිටාවක ඔන් ලයින් අධ්‍යාපනයේ මාසික ගුරු ප්‍රතිය ඉල්ලා අධ්‍යාපන ලේකම්වරයා විසින් නිකුත් කරඇති වාර්තාව හරහා එකතු කරගන්නා දත්තවලින් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ කුමණ ආකාරයේ ප්‍රගතියක් දැයි ඒකාබද්ධ ගුරු සේවා සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිතව විමසා තිබේ.

පැවැත්වූ ඔන්ලයින් සැසි ප්‍රමාණය, ඒ සඳහා සහභාගී වූ සිසුන් ගණන වැනි තොරතුරු ඉල්ලන මෙවැනි වාර්තා හරහා බලාපොරොත්තුවන ප්‍රගතිය කුමණකාරයක එකක් ද යන්න ගැටලුවක් බව කියන එම සංගමය මාර්ගගත අධ්‍යාපනය සඳහා ගුරුවරුන්ට හෝ ශිෂ්‍යයන් වෙත කිසිම පහසුකමක් ලබා නොදී මේ ආකාරයේ ප්‍රගතිය විමසීමේ සදාචාරය කුමක් දැයි ප්‍රශ්න කර සිටී.

මෙලෙස වාර්තා ඉල්ලමින් ගුරුවරුන් පීඩාවට පත්කිරීමත් එම වාර්තා භාවිතා කරමින් ගුරුවරුන් අධික්ෂණය සඳහා සූදානම්වීමත් සිදුකරන්නේ නම් එය බරපතළ තත්ත්වයක් බවද එම සංගමය අධ්‍යාපන ලේකම්වරයාට කියයි.
එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.



ලේකම්,
අධ්‍යාපන අමාත්‍යාංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.

ලේකම්තුමණි,

ඔන්ලයින් අධ්‍යාපනයේ ප්‍රගතිය ඉල්ලා සිටීම

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2021/6/3 දිනැති අධ්‍යාපන ලේකම්වරයා විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත නිකුත් කරන ලද ලිපිය මගින්, ඔ
න්ලයින් අධ්‍යාපනයේ මාසික ප්‍රගතිය පිළිබඳ වාර්තා සපයන ලෙස දන්වා ඇත.
එහිදී පැවැත්වූ ඔන්ලයින් සැසි ප්‍රමාණය, ඒ සඳහා සහභාගී වූ සිසුන් ගණන වැනි තොරතුරු ඉල්ලා ඇත. මෙවැනි වාර්තා හරහා බලාපොරොත්තුවන ප්‍රගතිය කුමනාකාරයක ප්‍රගතියක්ද යන්න ගැටලුවකි.

දරුවාගේ අධ්‍යාපනයේ ප්‍රගතිය වෙනුවට සංඛ්‍යා ලේඛන පුරවා ව්‍යාජ ප්‍රගතියක් පෙන්වා සිටීමක් පමණක් බව දැකිය හැකිය. 2021 මැයි මස 10 වන දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අධ්‍යාපන අමාත්‍යාවරයා ඔන්ලයින් අධ්‍යාපනය ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි සංඛ්‍යා ලේඛන පදනම් කරගෙන විය හැකිය.

පංති කාමරය තුළ දරුවා සමග ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සම්බන්ධවන ගුරුවරුන් ලෙස අපගේ අත්දැකීම වන්නේ බහුතර සිසුන් මෙම ඔන්ලයින් ක්‍රමවේදය හරහා මග හැරී ඇති බවයි. පංතිය තුළ සිටින ඉතාම දක්ෂ සිසුන් පවා මෙහිදී අධ්‍යාපනයෙන් පිටමංව ඇත. ඔන්ලයින් පහසුකම් සහිත සීමිත සිසුන් පිරිසක් පමණක් අධ්‍යාපන ක්‍රියාවලියට සම්බන්ධවී ඇත.

අධ්‍යාපන විශේෂඥයින්ගේ මතය අනුව මෙරට සිසු ප්‍රජාවෙන් 60% කට වැඩි පිරිසක් මේ වනවිට පාසල් අධ්‍යාපන ක්‍රියාවලියෙන් පිටමංවී ඇති අතර මනෝ වෛද්‍යවරුන් පවසන්නේ එසේ පිටමංව ඇති සිසුන්ගේ මානසික තත්ත්වය පරාජිත ස්වභාවයක් ගන්නා බවත් ඔන්ලයින් අධ්‍යාපනයට සම්බන්ධවන සිසුන් හා ගුරුවරුන්ද සීඝ්‍ර ලෙස විවිධ මානසික ආතතීන්වලට ලක්වන බවයි. එනම් මානසික රෝගීන් බවට පත්ව ඇති බවයි.

නමුත් ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඇති වටපිටාවක ඔබ ඉල්ලා සිටින ප්‍රගතිය ඉතාම අතාර්කික හා අයුක්තිසහගත බව පෙන්වාදීමට කැමැත්තෙමි.

තවද ප්‍රගතිය පිළිබඳව තොරතුරු ගුරුවරුන්ගෙන් ඉල්ලීමට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රමුඛ අධ්‍යාපන බලධාරීන්ට ඇති සදාචාරාත්මක අයිතියද අපි ප්‍රශ්න කර සිටිමු. වසර 23 ක් පුරාවට ගුරුවරුන්ට හිමි වැටුප රජය විසින් කොල්ලකමින් සිටින අතර වැටුප ලෙස සොච්චම් වැටුපක් ගුරුවරුන් වෙත ලැබේ. ඔන්ලයින් අධ්‍යාපනයට අවශ්‍ය මෙවලම් හා අන්තර්ජාල සම්බන්ධතා මිලදී ගැනීමට සිදුව ඇත්තේද එම සොච්චම් වැටුපෙනි. ණය බරින් මිරිකෙමින් ඉතා අවම ජීවන කොන්දේසි යටතේ දිවිගෙවෙන ගුරුවරයකුගේ වැටුප ඒ වෙනුවෙන් වැයකිරීමට සිදුව ඇත. මෙරට ගුරුවරුන්ගෙන් කී දෙනෙකුට අවම වශයෙන් ස්මාර්ට් දුරකථනයක් හෝ පවතින්නේ දැයි අධ්‍යාපන අමාත්‍යාංශය විමසීම් කර නොමැත. එසේ නොමැති සිසුන්ට හා ගුරුවරුන්ට කොපමණ ප්‍රමාණයකට අධ්‍යාපන අමාත්‍යාංශය පහසුකම් සපයා තිබේද? එවැනි තත්ත්වයක් යටතේ ඔන්ලයින් අධ්‍යාපනය සඳහා කිසිඳු ගෙවීමක් නොකරන බවට ඔබතුමා පුවත්පතකට කර ඇති ප්‍රකාශය ඉතාමත් වගකීම් විරහිතය. මහිදී ඔන්ලයින් ක්‍රමයට ඉගැන්විය යුතු යැයි ගුරුවරුන් වෙත නියෝග නිකුත් කරන බලධාරීන් අවශ්‍ය උපාංග අන්තර්ජාල ප්‍රවේශය පිළිබඳ සැලකිලිමත් නොවී ප්‍රගතිය පිළිබඳ වාර්තා ඉල්ලා සිටින්නේ කෙලෙසද යන්න ගැටලුවකි.

අනෙක් අතට අධ්‍යාපනයේ ප්‍රගතිය යනු අවසන් කළ විෂය කොටස් ප්‍රමාණය වන්නේ නම් එය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියද උල්ලංඝණය කිරීමකි. සාමාන්‍ය ක්‍රමවේද යටතේ මුහුණට මුහුණලා ඉගෙන ගනු ලබන විෂය කරුණු ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ඉදිරිපත් කිරීම අධ්‍යාපනය යැයි අර්ථදැක්විය හැකිද? දරුවාගේ මනෝසමාජීය කුසලතා සංවර්ධනය සදහා අවශ්‍ය අධ්‍යාපන අවකාශය ඔන්ලයින් ක්‍රමවේදය හරහා කිසිසේත් බලාපොරොත්තුවිය නොහැකි බව අධ්‍යාපන ලේකම්වරයා ලෙස ඔබ වටහාගත යුතුය. කෙලෙස හෝ විෂය නිර්දේශය ආවරණය කිරීම නොව දරුවාගේ සැබෑ ඉගෙනුම් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය අවම හෝ උත්සාහය ගැනීමට අප සූදානම් විය යුතු බව ඉතා ඕනෑකමින් පෙන්වා දෙනු කැමැත්තෙමු.

අවසන් වශයෙන් මෙලෙස වාර්තා ඉල්ලමින් ගුරුවරුන් පීඩාවට පත්කිරීමත් එම වාර්තා භාවිතා කරමින් ගුරුවරුන් අධික්ෂණය සඳහා සූදානම්වීමත් සිදුකරන්නේ නම් එය බරපතළ තත්ත්වයක් බවද, එවැනි උත්සාහයකට අපගේ දැඩි විරෝධයද එල්ලකරන බවද දන්වා සිටිමු.

තවද වසංගතයෙන් පීඩාවට පත්ව සිටින සිසුන්, දෙමාපියන්, පීඩාවට පත්කරමින් සිදුකරන මෙම අදූරදර්ශී ඔන්ලයින් අධ්‍යාපන ක්‍රියාවලිය බරපතළ ව්‍යාධියක පෙර ලකුණු බව පෙන්වා දෙනු කැමති අතර යන්නන් වාලේ නොයා අධ්‍යාපනඥයින්, විෂය ප්‍රවීණයින් සම්බන්ධ කරගනිමින් නිවැරදි අධ්‍යාපන ක්‍රියාවලියකට ඉඩකඩ ඇති කරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
ස්තුතියි.
මෙයට,

ලේකම්
සංජීව බණ්ඩාර
ඒකාබද්ධ ගුරු සේවා සංගමය

Exit mobile version