බොලිවුඩ් සුපිරි නිළි අයිශ්වර්යා රායි සහ ඇගේ දියණිය ආරධ්‍යා ට ද කොරොනා වෛරසය ආසාධනය ඇති බව මීට සුළු මොහොතකට පෙර හින්දුස්තාන් ටයිම්ස් වාර්තා කළේය. ඊයේ දිනයේදී ප්‍රවීණ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් ගේ කොවිඩ් -19 පරීක්ෂාව ධනාත්මක වී රෝහල් ගත කිරීමත් සමඟම පවුලේ සියල්ලන් ද මෙලෙස කොවිඩ් -19 පරීක්ෂාවට ලක් කෙරිනි. අමිතාබ් බච්චන් ගේ බිරිය ජයා බච්චන් ගේ කොවිඩ් -19 වාර්තාවට අනුව ඇයට වෛරසය ශරීරගතව නොමැති බවට තහවුරු වූවත් ඇයවද නැවත පරීක්ෂා කිරීමට සූදානම් බව හින්දුස්තාන් ටයිම්ස් වාර්තා කර ඇත.
මේ අනුව බච්චන් පවුලට සේවය කරන ආරක්ෂකයින් සහ සේවිකාවන් ඇතුළුව පවුලේ 16 දෙනකුද කොවිඩ් -19 පරීක්ෂාවට ලක් කර තිබෙන අතර එම වාර්තා හෙට දිනයේදී නිකුත් වීමට නියමිතය. කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූවත් අයිශ්වර්යා සහ දියණිය ආරධ්‍යා කිසිඳු රෝග ලක්ෂණයක් මෙතෙක් පෙන්නුම් නොකරන බැවින් නිවෙසේදීම ප්‍රතිකාර ලබා ගැනීමට සැලසුම් කර ඇත.
නමුත් ඔවුන්ට අවශ්‍ය නම් ලිඛිත ප්‍රකාශ ලබා ගෙන රෝහල් ගත කිරීමට හැකි යැයි බ්රිහාන්මුයි මහ නගර සභාවේ අතිරේක කොමසාරිස් සුරේෂ් කකානි පවසයි. මේ වන විට බච්චන් නිවෙස හා අවට ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.