ඓතිහාසික සොයිසා ගොඩනැගිල්ල කඩන්න බෑ…සංරක්ෂණට සැලසුම් දීලා තියෙන්න… එතනින් එහාට මා දන්නෙ නෑ…

ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක කියයි...

කොළඹ ඓතිහාසික භූ සලකුණක් වූ කොම්පඤ්ඤවීදියේ සොයිසා ගොඩනැගිල්ල කිසිසේත්ම කඩා දැමීමේ අදහසක් නැති බවත් එය සංරක්ෂණය කිරීමට අදාල සියලුම සැලසුම් මෙන්ම මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කිරීමට අදාල සියලුම ලේඛණ අදාල අංශ වෙත ඉදිරිපත් කර ඇති බවත් ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.

එම සැලසුම් භාරදීමෙන් අනතුරුව සිදුවෙමින් ඇති දේ පිළිබඳව තමන් දැනුවත් නැති බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ ඊයේ උදෑසන සිට මෙම ගොඩනැගිල්ල කඩා දැමීමට සැරසෙන බවට පැතිරී ගිය කතාව පිළිබඳ අප කළ විමසීමේ දීය.
කොම්පඤ්ඤවීය පුරාණ ගොඩනැගිලි සහිත භූමියේ ඉන්දියානු ටාටා සමාගම දියත් කරන සංවර්ධන ව්‍යාපෘතියේ දී මෙම පුරාණ ගොඩනැගිල්ල ඉවත් කිරීමට අවස්ථා කීපයකදීම උත්සාහ කළමුත් එහි ඓතිහාසික අගය වටහා දී ඒ විනාශයෙන් බේරා ගැනීමට හැකි වී තිබිණි.

එහෙත් එම ව්‍යාපෘතිය යටතේම කොම්පඤ්ඤවීදිය දුම්රියපල අසල පිහිටි කාසල් ගොඩනැගිල්ල යහපාලන රජය සමයේ දී එක රැයකින් කඩා දැමුවේය. කඩා දැමීම සදහා දැනුම් දී තිබිය දීත් මෙම ගොඩනැගිලි කිසිවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් කර තිබුණේ නැත.

එක රැයකින් ඉවත් කළ කාසල් හෝටලය -2014 ජනවාරි

කෙසේ වෙතත් එම අත්දැකීමත් සමග වසර හයක කාලයක් තිස්සේ මෙම ස්මාරකය රැක ගැනීම සඳහා ගැසට් කරගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උත්සාහ කළ ද දෙපාර්තමේන්තුවේම යම් ප්‍රශ්නකාරී මැදිහත්වීම් නිසා එම කටයුත් ඉතා අතාර්කික ලෙස යටපත් වී ගිය බව පුරාවිද්‍යා ආරංචි මාර්ග හෙළිදරව් කළේය.

කෙසේ වෙතත් අවසානයේ දී ස්මාරකයට අදාල සියලු ලේඛන සකසා නීතිපති අනුමැතිය ලබාගෙන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තහවුරු කිරීමෙන් සංස්කෘතික අමාත්‍යාංශය වෙත යොමු කර ඇත.

ගරා වැටෙන්නට හැර ඇති සොයිසා ගොඩනැගිල්ල

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් ගොඩනැගිල්ල ගැසට් කිරීමට අදාල අත්සන සංස්කෘතික ඇමතිවරයා වූ අගමැතිවරයා විසින් තවම තබා නැති බව වාර්තා වේ.

මෙම ගොඩනැගිල්ල කඩා දමන බවට වූ තොරතුරු මත පුරාවිද්‍යා නිලධාරීන් සංස්කෘතික ලේකම්වරයාගෙන් කළ විමසීමක දී ඔහු පසුගිය දා එම නිලධාරීන්ට පවසා තිබුණේ රජයේ සංවර්ධන කටයුතුවලට බාධා නොකර සිටින ලෙස තමන්ට ඉහලින් උපදෙස් ලැබී ඇති බවය.


Exit mobile version