එලොව පොල් පෙන්නූ පොල් නිලධාරීන්ගේ රට සවාරි විගණනයෙන් හෙළි වෙයි..

ලලිත් චාමින්ද

ශ්‍රි ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන විදේශ වෙළඳපොළ තුළ ප්‍රවර්ධනය කිරිමේ අරමුණින්    රුපියල් දහතුන් කෝටි හත් ලක්ෂ හැත්තෑ දාහක්  (මිලියන130.77 )    වැයකොට  පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරින් විදේශගත වී ඇතත් පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන වැඩිකරගැනීමට අපොහොසත් වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2019 වර්ෂයට අදාල නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වේ.

පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරින් විදේශගතවීම සඳහා 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා රුපියල් මිලියන 130.77 මුදලක් වැයකොට  ඇති බවද විගණන වාර්තාවේ දැක්වේ. කෙසේවුවද 2019 වර්ෂය  අවසන් වනවිට අපනයනය කර තිබු  පොල් ආශ්‍රිත නිෂ්පාදන 37කින් නිෂ්පාදන 16කට  අදාල අපනයනය ප්‍රමාණය අඩු වී තිබුණි. ඒ අනුව අධිකාරිය පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය වැඩකරගැනීමට අපොහොසත් වී ඇතැයි විගණන දෙපාර්තමේන්තුව කියයි.

එමෙන්ම පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් 2010 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා  කාලපරිච්චේද තුළ  පොල් පැළ බෙදාදීම, සංවර්ධන වැඩසටහන් හා  ව්‍යාප්ති සේවා වෙනුවෙන් රුපියල් රුපියල් බිලියන 6.38ක් වැයකර තිබුණි. එහෙත් රට තුළ  වර්ෂිකව පොල්ගෙඩි මිලියන 625.29ක සාමාන්‍ය පොල් හිඟයක් පැවති බවද විගණන වාර්තාවේ සදහන් වේ.


එමෙන්ම පොල් කර්මාන්තය සඳහා පුහුණු ශ්‍රම බලකායක් පිහිටුවිමේ ප්‍රධාන  අරමුණ ඉටුකරගැනිමට   වැවිලි සවිය ශ්‍රමික බලකා  ව්‍යාපෘතිය 2017 වර්ෂයේ දි ආරම්භකොට තිබුණි. එම ව්‍යාපෘති යෝජනා අනුව  ව්‍යාපෘතියේ  ප්‍රතිපාදනවලින් සියයට 76ක් පුහුණු කිරිමේ කටයුතු සඳහාත් සියයට 24ක් ක්ෂේත්‍ර උපකරණ මිලදී ගැනීම සඳහාත්  උපයෝජනය කිරීමට  අපේක්ෂා කොට තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් පොල් වගා කිරීමේ මණ්ඩලය  විසින් ව්‍යාපෘතියේ අරමුණුවලට පටහැනිව  පුහුණු කටයුතු වෙනුවෙන් සියයට 21ක මුදලක්ද  ක්ෂේත්‍ර උපකරණ, ටැබ්ලට් පරිගණක මිලදිගැනිම සදහා  සියයට 79ක් වශයෙන් ප්‍රතිපාදන උපයෝජන කරතිබු බවද විගණන වාර්තවේ දැක්වේ..

Exit mobile version