එම්.ඕ.එච්.වලට ප්‍රමාණවත් එන්නත් නෑ… එන්නත අරන් ඩෙල්ටා ගෙනියන්න රෝහලට පැමිණි මිනුවන්ගොඩ මිනිස්සු..

කීර්ති ප්‍රනාන්දු –

ඕනෑම පුද්ගලයෙකුට පළමු හා දෙවන මාත්‍රා ලබා ගැනීම සඳහා මිනුවන්ගොඩ රෝහල විවෘත කිරීමත් සමග ඇති වී තිබෙන තත්වය මේ සමග වූ ඡායාරූප පෙළ පෙන්වයි.

ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගොඩ දෙසටත් වේයන්ගොඩ දෙසටත් පෝලිම් දෙකක් සේ කිසිම සෞඛ්‍ය පිළිවෙතකින් තොරව මිනිස්සු දෙදහසකට අධික සංඛ්‍යාවක් පොදි ගැසෙමින් සිටිති. අවට වාහන තදබදයකි. 

මේ පෝලිම ආරම්භ වූයේ පාන්දර 4 සිට බවත් මෙවැනිම තත්වයක් ඊයේත් පැවති බවත්, ඊයේ ඇති වූ තදබදයක් අවසානයේ ඇති වූ ගැටුම්ක් නිසා රෝහලේ ගේට්ටු කණුවක් ද පැමිණ සිටි පිරිස් පෙරළා දැමූ බවත් ඇසින් දුටුවෙක් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



මේ අතර මෙවැනි තදබදයක් ඇති නොවන සේ ඒ ඒ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සිදුකරන එන්නත්කරණ වැඩපිළිවෙළ නිසි පරිදි පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් එන්නත් නොලැබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කළේය.

මේ පිළිබඳව කළ විමසීමක දී කාටන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ටී.යූ.ටී. කුලතිලක පැවසුවේ ඕනෑම කෙනෙකුට එන්නත් ලබා ගැනිම සඳහා ස්ථාන විවෘත කිරීම පිළිබඳ ප්‍රචාරක වැඩ සටහන් දියත් වුවත් බිම් මට්ටමේ තත්වය ව්‍යාකූල බවය.
“ එම්.ඕ.එච්. කාර්යාලවලට ලැබෙන එන්නත් ප්‍රමාණය අඩුයි. අපෙන් මුල් මාත්‍රාව ගත් අයට දෙවන මාත්‍රාව ලබා දීමට ප්‍රමාණවත් එන්නත්වත් ලැබී නෑ. ගම්හප සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සියල්ලේම ඇත්ත තත්වය මේකයි. දෙවන මාත්‍රාව ලබා දීමටවත් ප්‍රමාණවත් එන්නත් නැති නිසා අපට පළමු මත්‍රාව ලබා දෙන්න විදිහක් නෑ. යුද හමුදාව යොදවා කළ වේගවත් එන්නත්කරණය හොඳයි. ඒත් මේ පැවති යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ගමන් විකල්ප වලට යෑමයි සුදුසු.

“මේ බිම් මට්ටමේ ගැටලුව විසඳන්නෙ නෑ. මෙය දකින්නෙත් නෑ. මිනිස්සු අපට ඇවිත් බැණලා යනවා තමුසෙලට ආණ්ඩුවෙන් දෙන බේත් ටික ගෙනත් විදගන්න බැරිද කියලා. කාටද තේරුම් කරලා දෙන්නෙ දෙවන මාත්‍රාව විදින්න ප්‍රමාණවත් එන්නත් ප්‍රමාණයවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට එවන්න කියලා. “ ඔහු පැවසීය.


Exit mobile version