එක්සත් ජනපදය වෙනිසියුලාව ආක්‍රමණය කර එහි ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිය පැහැරගැනීම සිදුවන්නේ එක්සත් ජනපදයේ ස්වෛරීත්වයට කිසිම බාධාවක් වෙනිසියුලාව විසින් නොකළ පසුබිමක බව සභානායක, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළේය.
වෙනිසියුලාවේ ජනාධිපතිවරයා පැහැරගැනීම ගැන රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් අමාත්‍යවරයා පැවසුවේ දුබලයා බලවතා විසින් යටත් කිරීමේ කැලෑ නීතිය වැලැක්වූ එක්සත් ජාතීන් 1945 දී හඳුන්වා දුන් ප්‍රඥප්තිය ආරක්ෂා කිරිමට රටක් වශයෙන් පෙනී සිටින බවත්, එසේ පෙනී සිටින්නේ අප වැනි රටවල ජීවිත ආරක්ෂක රේඛාව සලකුණු වන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මත බවත්ය.
ඇමතිවරයා මෙසේ ද කීවේය.
“අද ලෝකයේ අති බහුතරයක් රටවල් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පිළි අරගෙන කටයුතු කරන්නේ.”
“රට මොකක් වුනත් ඒ රට හොඳද නරක ද කියන එක ඒ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්. වෙන කිසිම රටකට ඒ රට ආක්‍රමණය කරන්න බෑ කියන එක එක්සත් ජාතීන් දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ කරපු ලොකුම දෙයක්. ලෝකයේ එතෙක් තිබුණ කැලෑ නීතිය, ලොකු එකා පොඩි එකා දඩයම් කිරිම නතර කරලා ලෝකයට සැහෙන දුරට සාමයක් ආවේ 1945 එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පිළිගත්ත නිසා.”
“ඇත්තටම අපි වගේ රටවල්වල ජීවිතාරක්ෂක රේඛාව ඒක. ලෝකයම ගත්තත් හැම රටකම ගත්තත් ලෝකයේ යුද්ධ ගොඩක් කරන්න පුලුවන් ප්‍රධානම රටවල් හැරුණාම අනෙක් හැම රටකම තියෙන ජීවිතාරක්ෂක රේඛාව රටක් වශයෙන් වෙනත් ඕනෑම රටක් එක්ක සමාන අයිතිවාසිකම් තියනවා කියලා නීත්‍යානුකූලව පිලිගැනීම. ලෝක සාමයට ආපු ලොකුම ජීවිතාරක්ෂක රේඛාවත් ඒක.”
“ඒ නිසා වෙනිසියුලාව හරි අප්‍රිකාව හරි වෙනත් ඕනෑම රටක ඒ රට හොඳ නැද්ද කියන එක ඒක තීරණය කරන්න ඕන ඒ රටේ ජනතාව. වෙනත් රටක කවුරුත් නොවෙයි. ඒ රටේ ජනතාවෙන් තොරව රටවල්වල ආණ්ඩු වෙනස් කරපු එකේ ඉතාම නරක අත්දැකීම් අපට පෙනෙනවා. ඉරාකය, සිරියාව, ඇෆ්ගනිස්ථානය වාගේ රටවල්වලින්. ඒවා සාර්ථක වෙලා නෑ.”
“ඒ වගේම වෙනිසියුලාව ගත්තොත් අවුරුදු විසිහපහක් දේශපාලන පක්ෂ දෙක කළේ මොනවද කියලා ඔබතුමාලට ගන්න පුලුවන්. වෙනිසියුලාවේ 2000 සිට 2025 දක්වා අසමානතාවය, සෞඛ්‍ය සේවය, අධ්‍යාපන ප්‍රවේශය, ආර්ථික සංවර්ධනය, උද්දමනය, ආහාර සුරක්ෂිතාවය කියන කරුණු මත ලෝකයේ අන්තර්ජාතික සංවිධාන වාර්තා සකස් කරලා තියනවා.”
“වෙනිසියුලාවේ 25 අවුරුදු පාලනය කොටස් දෙකකට කඩන්න පුලුවන්. 2000- 2014 සහ 2014 සිට 2021 දක්වා. 2021 සිට අද දක්වා. 2014 අවුරුද්දෙ තමයි එක්සත් ජනපදය වෙනිසියුලාවට අසීමාන්තික සම්බාධක දාන්නේ. කවදාවත් නිදහස් අධ්‍යාපනය තිබුණ නැති රකට, කවදාවත් නිදහස් සෞඛ්‍ය සේවයක් තිබුණ නැති රටක එම අවස්ථා ඇති වුනේ 2000 අවුරුද්දෙන් පස්සේ.”
“සාමාන්‍ය සාධාරණ රටක් විදිහට වෙනිසියුලාවේ පාලකයින් වැඩ කරද්දි ඒ රට තිබුණට වඩා ඉහළට ආව. කරකාස් කියන්නේ තනිකරම මුඩුක්කු නගරයක් විදිහට තිබුණෙ. අද අවුරුද්දකට වැඩියෙන්ම ගෙවල් හදලා තියන රට වැනිසියුලාව. කරකාස් අග නගරය සෑහෙන දුරට වෙනස් වෙලා තිබෙනවා. විශාල සුබ සාධනයක් මේ ආණ්ඩු කළා.”
“2014 වෙනිසියුලාවට ඇමරිකාව සම්බධාක දැම්මා. ඇයි ඒ සම්බාධක දැම්මේ. වෙනිසියුලාව ඇමරිකාවට කිසිම දෙයක් කරලා නෑ. ඇමරිකාවේ ස්වෛරීත්වයට කිසිම වරදක් කරලා නෑ. වෙනිසියුලාවේ ඇතැම් මැතිවරන ගැන ජමී කාටර් සෙන්ටර් එකම කියනවා ලෝකයේ තිබුණ පිරිසිදුම මැතිවරණ ගැන කියලා.”
“2014න් පස්සෙ ඇමරිකාවේ සම්බාධක නිසා වෙනිසියුලාව වැටුනා. ඕනෑම රටකට සම්බාධක දැම්මට පස්සේ ඒ රටට ගොඩ එන්න බැරි වෙනවා. අද කියුබාවට වෙලා තිබෙන්නෙත් එහෙමයි. 2021 සිට 25 දක්වා වෙනිසියුලා ආණ්ඩුව මේකත් එක්ක සටන් කරලා නැවත වෙනස් වෙන්න ගත්තා. නැවත යම් කිසි මට්ටමක් අත්පත් කරගත්තා.”
“මේ පැහැරගැනීම එක්සත් ජාක්සත් රාජධානියේ තීරණයක් බව ඇත්ත. නමුත් මේ පැහැරගැනීමත් එක්ක එකක් පේනවා. ඒ අපි වගේ රටවල්වලට ස්වාධීනව දියුණු වෙන්න නම් අපට එක්සත් ජාතීන්ගේ ක්‍රමවේදය පැවතීම අත්‍යාවශ්‍යයයි.”
අද වෙනකොට එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවිධාන 31කින් ඉවත් වෙන්නත් අන්තර්ජාතික වෙනත් සංවිධාන 35කින් ඉවත් වෙන්නත් තීරණය කරලා තියනවා. ඒ රටට ඒ අයිතිය තියනවා.
“නමුත් එක්සත් ජාතීන් කියන්නේ ලෝකයම හදාගත්ත දෙයක් . එක්සත් ජනපදය මුල් වුනා ඒක හදන්න. මේ හැසිරීමෙන් අපට පේනවා ඒ ගොල්ලන් ඒ තරම්ම යූ.එන් එකට කැමති නෑ වගේ. නමුත් අපට තියෙන දේ මොකක්ද. අපට යූ.එන් එක අවශ්‍යයයි.”
“රටවල්වල පාලකයින්ගේ අඩුපාඩු තියෙන්න පුලුවන්. නමුත් ඒ හැම වැරැද්දක් නිසාම තවත් රටකට ලැබෙනවා නම් බලයක් ඒක වැරදියි. දැන් මේ මොකක්ද කරන්නෙ. ඇත්ත පැත්තෙ හිටගන්නේ නැතිව එයා වැරදියි මෙයා වැරදියි කියන එක නෙමෙයි. අපට අවශ්‍යයයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පඥප්තිය ක්‍රියාත්මක කරගන්න. කවුරුහරි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති උල්ලංඝණය කරනවා නම් ඒක බලපානවා ඒ රටට විතරක් නෙමෙයි, අපේ රටටත්.”
“නැවතත් කියනවා අපි වගේ රටවල්වල ජීවිත ආරක්ෂාව හැදෙන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති ක්‍රියාත්මකවීම මත. ඒ නිසා අපි කවුරුත් එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.”







