උරණ වූ කම්කරු ගැහැනියක් පුරාවිද්‍යා දෙපාරත්මේන්තු යූ ටියුබ් චැනලය වනසයි… ඇමතිගෙන් විශේෂ පරීක්ෂණයක්…

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල යූ ටියුබ් චැනලය කළමනාකරණය කිරීම සඳහා හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  පත්කරගෙන සිටි  ඔහුගේ විශේෂ ප්‍රසාදය ලැබූ  කම්කරු කාන්තාව එතැනින් ඉවත් කර එම වගකීමට ආචාර්ය උපාධියක් සහිත වෘත්තිකයෙක් පත් කිරිමත් සමග උරණ වූ  ඇය දෙපාර්තමේන්තු නිල චැනලයේ අන්තර්ගත අතිශය වටිනා වීඩියෝ 126ක් ඇතුලු සමස්ථය මකා දමා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

දෙපාර්තමේන්තුවේ විෂය පිළිබඳ දැනුම සහිත ප්‍රමාණිකයන් සිටිය දී හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම කාන්තාවට දෙපාර්තමේන්තු නිල යූ ටියුබ් චැනලය භාර කර ඇයගේ සොහොයුරා යැයි කියන පුද්ගලයෙක් ලවා එය සකස් කරගන්නට අවසර දී තිබේ.

එම අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්‍රාම ගිය පසු මෙම  වැදගත් වගකීම දෙපාර්තමේන්තුවේ ප්‍රමාණිකයෙකුට පැවරීමත් සමග මේ කාන්තාව උරණ වී ඇත. ඇය සිය සොයුරා  යැයි කී පුද්ගලයා ලවා මුල් කවානුවේ දී විශේෂ දේශන මධ්‍යයේ වේග රිද්ම ගීත  ප්‍රචාරය කරවීම, විකෘති කිරීම වැනි දේ සිදුකරමින් දෙපාර්තමේන්තුවේ ශාස්ත්‍රීය කටයුතුවලට සාහසික ලෙස බාධා පමුණුවමින් සිට ඇත.


වරෙක රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේ දී ත් මෙවැනි විකෘතියක් සිදුවෙද්දී ඒ ගැන ඔහු විමසා ඇති අතර සුලු තාක්ෂණික දෝෂයක් බව පවසා  නිලධාරීන් කිහිප දෙනෙක් සිද්ධිය යට ගසා ඇතැයි වාර්තා වේ.

අනතුරුව වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ සම්බන්ධව විධිමත් තීන්දුවක් ගන්නා ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේම නිලධාරීන් පිරිසක් ඉල්ලීම් කළවිට ඔහු උපදෙස්  දී තිබුණේ මෙය දුර දිග නොයවා වෙන මෙතැනින් මේ සිද්ධිය නිමා කර අලුතින් යූ ටියුබ් චැනලයක් පටන් ගන්නා ලෙසය.

යූ ටියුබ් චැනලයක් නිර්මාණය කිරීමේ දි ඉන් යම් ඉපයීමක් කළ හැකි නිසා ගිනුමක් ඉදිරිපත් කළ යුතු අතර ඒ සඳහා ඉදිරිපත් කර ඇත්තේ මේම කාන්තාවගේ සොයුරා යැයි පවසන පුද්ගලයාගේ පුද්ගලික ගිනුම බව කියැවේ.  දෙපාර්තමේන්තුවේ නමින් ඇති චැනලයේ විකාශය කර ඇති වීඩියෝපටවල අයිතිය සම්බන්ධව ද ගැටලුවක් ඇති අවස්ථාවක වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ කාන්තාව සම්බන්ධ නීතිය ක්‍රියාත්මක  නොකිරීම සම්බන්ධව දෙපාර්තමේන්තුවේ බොහෝ නිලධාරීන් දැඩි කලකිරිමකින් පසුවී ඇත.

ආණ්ඩුවේ ඉතා ප්‍රබල අමාත්‍යවරයෙකුගේ හිතවත් කම් ගැන කියා දෙපාර්තමේන්තුවේ බොහෝ දෙනාට බලපෑම් කරමින් සිටින මේ කම්කරු කාන්තාව මීට පෙර පුරාවිද්‍යා ස්ථානවල අනවසර කැණීම් සඳහා ගිය බවට චෝදනා ඇති නමුත් ඒ කිසිම විමර්ශනයක් නිසි ලෙස පැවැත්වී නැති බව ද දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

අවසානයේ ඇය  අද  උදෑසන වනවිට දෙපාර්තමේන්තුවේ යූ ටියුබ් නාලිකාවේ පැවති සියලුම වීඩියෝපට මකා දමා තිබේ.

අද (13) මේ  සිද්ධිය සම්බන්ධව ඇමතිවරයාගෙන් විමසූ විට ඇමතිවරයා ප්‍රකාශ කළේ දැනට ලැබුණු තොරතුරු අනුව මේ යූ ටියුබ් චැනලය නිර්මාණය කර ඇත්තේ දෙපාර්තමේන්තුවෙන් පිට පුද්ගලයෙක් බවත් එසේ නිර්මාණය කර ටික කාලයකින් එය මේ කම්කරු කාන්තාවට බාර දී ඇති බවත්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව තමන් විමසූ අවස්ථා කීපයක දී මේ කිසිම නිලධාරියෙක් තමන්ට නිසි පිළිතුරක් ලබා නොදී එකිනෙකාගේ මුහුනෙන් මුහුණ බලාගෙන නිරුත්තරව සිටි බව කීවේය. ඒ අවස්ථාවේදීම මේය පසුපස කුමක් හෝ සැඟවුණු යමක් ඇතැයි තමන් සැක කළ බවත් ඇමතිවරයා පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සිද්ධිය පිලිබඳ විධිමත් පූර්ණ පරීක්ෂණයක් සිදුකර සියලුම වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමට කටයුතු කරන බවත් ඇමතිවරයා කීවේය.

 

Exit mobile version