උතුරට චීන්නු ගෙන්නුවොත් අපි පාරට බහින්නෙ ඉන්දියාවත් එක්ක…

සංවර්ධනය යැයි කියමින් යාපනය චීන කොලණියක් කිරීම ආණ්ඩුවට පහසු වෙන්නෙ නෑ. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියයි...

දිනසේන රතුගමගේ –

දූපත් ප්‍රදේශවලට විදුලිය සපයා දෙන මුවාවෙන්  චීන ජාතිකයින්ට යාපනය  අර්ධ ද්වීපය ආක්‍රමණය කිරීමට ඉඩ නොතබන බවත් රජය එසේ කිරීමට කටයුතු කළහොත් යළිත් දෙමළ ජනතාවගේ සහයෙන් විශාල උද්ඝෝෂණ මාලාවක් උතුරු නැගෙනහිර පළාත්වල පවත්වන බවත් ඊ.පී.ආර්.එල්.සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

කිළිනොච්චියේ උත්සවයකට සහභාගී වෙමින් ජනතාවට අදහස් දැක් වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ මේ වන විට යාපනයේ දූපත් ප්‍රදේශ වලට විදුලි බලය ලබා දී තිබීම නිසා ජනතාවට  බලාගාර හරහා විදුලිය සපයාදීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

රජය විසින් සිදු කිරීමට යන මේ සංවර්ධන ක්‍රියාවේ කොන්ත්‍රාත්තුව චීනයට  ලබා දීම නිසා යාපනය චීන ජාතිකයින් විසින් ආක්‍රමණය කරන බවත් ඒ තත්ත්වය රජය වර්තමානයේදී දෙමළ ජනතාව වෙසෙන පළාත් බලහත්කාරයෙන් ආක්‍රමණය කිරීමට වඩා බලවත් නිසා ඊට එරෙහිව දෙමළ ජනතාව යළිත් වරක් පාරට බස්සවා පොතුවිල් සිට පේදුරුතුඩුව දක්වා පැවැත්වූ විරෝධතාවයට වඩා දැඩි විරෝධතාවයක් සංවිධානය කරන බවත් ඊ.පී.ආර්.එල්.එෆ්.නායකයා කිළිනොච්චියේදී පැවසීය.


මේ වන විටත් යාපනය නගරයේ අවන්හල්වල හා වෙනත් ස්ථානවල චීන ජාතිකයින් සියයක් පමණ ගැවසෙන බව තමන් මීට කාලයකට පෙර අවධාරණය කළ බව සඳහන් කළ හිටපු මන්ත්‍රීවරයා ඒ වන විට මේ විදුලි බලාගාර ඉදිකිරීම සඳහා මූලික තොරතුරු අධ්‍යයනය කිරීමට මේ චීන ජාතිකයින් පැමිණි බව තමන් නොදන්නා බවද කියා සිටියේය.

චීන ජාතිකයින් යාපනයට පමණක් නොව උතුරු පළාතටම පැමිණ සංවර්ධන කටයුතු කිරීම සම්බන්ධයෙන් දෙමළ දේශපාලන පක්ෂ හෝ දෙමළ ජනතාව කැමැත්තක් නොදක්වන බව ප්‍රකාශ කළ ඔහු කියා සිටියේ මේ වන විට ඉන්දියාවද චීන ජාතිකයින් යාපනයට පැමිණීම  කෙරෙහි විරෝධය පල කොට ඇති නිසා දෙමළ දේශපාලන පක්ෂ වලට විරෝධතා සංවිධානය කිරීමේදී ඉන්දියාවේ සහයද ලබා ගත හැකි බවයි.

පුනර්ජන්‍ය විදුලි බලාගාර ඉදිකිරීම නිසා මත්ස්‍ය සම්පත විනාශ වීමත් ධීවර කර්මාන්තයට විශාල බාධාවක් එල්ල වීමත් නිසා ඉන්දීය ධීවරයින් හා උතුරේ ධීවරයින් මේ ප්‍රශ්නයේදී එකමුතුව කටයුතු කරණු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඊ.පී.ආර්.එල්.එෆ්.නායකයා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීන ජාතිකයින් විසින් යාපනයේ දූපත් ප්‍රදේශවල සිදු කරණු ලබන මෙම බලාගාර ඉදිකිරීමේ කටයුත්තට ඉන්දියාව දැඩි ලෙස විරෝධය පල කොට ඇති නිසා ශ්‍රී ලංකා රජයට යාපනය ඇතුළු උතුරු පළාත චීන කොළණියක් බවට පත් කිරීමට නොහැකි බවද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version