ඉරණතිවු දූපතේ කොවිඩ් සිරුරු වළ දැමීමට ඩග්ලස් දේවානන්දාත් විරුද්ධ වෙයි…

Daglus-Dewananda

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා

දිනසේන රතුගමගේ –

කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය සදහා කිළිනොච්චියේ ඉරණතීව් දූපත තෝරා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ විරෝධය පල වී ඇති අතර ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද  මීට සිය අකැමැත්ත පල කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්  ප්‍රකාශ කොට ඇත්තේ රජය මෙම තීරණය හකුළා නොගතහොත් ඉරණතීව් දූපතේ ජනතාව සමග එකතු වී රජයේ මෙම තීරණයට එරෙහිව විරෝධය පලකරණ බවයි.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසන්නේ කොරෝනා රෝගයෙන් මියගිය අයගේ මළ සිරුරු භූමදානය කිරීම සදහා ඉරණතීව් දූපත කිසිසේත්ම සුදුසු ස්ථානයක් නොවන බවයි.


මේ තීරණය හා ක්‍රියාව නිසා මේ රටේ සුළු ජාතිය හා රජය අතර ඇතිව තිබෙන ව්‍යාකූලතාවය තවත් වර්ධනය විය හැකි නිසා තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කොට යම් විසදුමකට එළඹෙන බවද ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

කිළිනොච්චියේ  ඉරණතීව් ප්‍රදේශයේදී පසුගිය මාසයේ  මුහුදු කූඩැල්ලන් ඇතුලු මුහුදු ආහාර අපනයන ගම්මානයක් පිහිටුවා වසරකට  ඇමරිකානු ඩොලර් 25000 කට වඩා වැඩි ආදායමක් ලබා ගැනීමට සැලසුම් කොට විදේශීය සමාගම් සමග එය ක්‍රියාවට නංවා තිබියදී කොරෝනා මළ සිරුරු ඉරණතීව් දූපතේ භූමදානය කිරීම නොගැලපෙන ක්‍රියාවක් බවද අමාත්‍යවරයා සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිළිනොච්චියේ සිට මුහුදු සැතපුම් 9 ක දුරින් මන්නාරම් බොක්කට අයත්ව පිහිටි ඉරණතීව් දූපතේ මේ වන විට  පවුල් 165 ක් පමණ නැවත පදිංචිව සිටින හෙයින් ඉරණතිව් දූපතේ කොරෝනා සිරුරු භූමදානය කිරීම මගින් දූපතේ ජලය අඩුවැඩි වීම මගින් ජනතාවට වයිරසය ජලයට මුසු වී වැළඳීමේ අවදානමක් පවතින බව ඉරණතීව් දූපතේ  වැසියන් කියා සිටිති.

 

Exit mobile version