දිනසේන රතුගමගේ –
උතුරු මුහුදු සීමාව ආක්රමණය කළ ඉන්දීය ධීවරයින්ට මෙතෙක් උතුරේ අධිකරණයක් මගින් නියම කරණ ලද විශාලතම දඩ මුදල 22 දා කිළිනොච්චිය අධිකරණයෙන් නියම කොට තිබේ.
ඒ අනුව කිළිනොච්චියේ ඉරණතීව් දූපත ආසන්නයට පැමිණ නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් අට දෙනෙකුට නීති විරෝධී ලෙස මසුන් මැරීමේ පලමු චෝදනාවට රුපියල් ලක්ෂ හැටක මුදලක් ද ශ්රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීමේ දෙවැනි චෝදනාවට එක් ධීවරයෙකුට රුපියල් පනස් දහස බැගින් රුපියල් ලක්ෂ හතරක මුදලක්ද වශයෙන් රුපියල් ලක්ෂ 64 ක දඩ මුදලක් නියම කොට තිබේ.
මීට අමතරව වසර දහයක කාලයක හිරදඩුවමක් නියම කොට එය අවුරුදු එකහමාරක අත් හිටවූ හිරදඩුවමක් ලෙසද අධිකරණය මගින් ප්රකාශ කොට තිබේ.
මෙම ධීවරයින් අට දෙනා නාවික හමුදාව විසින් ජනවාරී මස 8 වෙනිදා අත් අඩංගුවට ගෙන කිළිනොච්චිය ධීවර පරීක්ෂක නිලධාරීන් වෙත බාර දීමෙන් පසුව ඔවුන්ව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව කිළිනොච්චිය අධිකරණය විසින් මෙම දඩුවම නියම කොට තිබේ.
අදාල දඩ මුදල ගෙවීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා ඔවුන්ව තව දුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙසද කිළිනොච්චිය මහේස්ත්රාත්වරයා නියෝග කර තිබේ.







