ගැඹුරු මුහුද නිරීක්ෂණය කරන මෙරට ඇති එකම නැවට ඉන්දියාවෙන් මි. 120ක අමතර කොටස්

මෙරට වෙරළාරක්ෂක බලකායේ සුරක්ෂා නෞකාවේ නඩත්තු හැකියාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 120ක් වටිනා යන්ත්‍රෝපකරණ කොටස් 650ක් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබේ.

සුරක්ෂා නෞකාව 2017 ඔක්තෝබර් මාසයේදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ලද්දකි. මෙය දෙරට අතර සහ වෙරළාරක්ෂක බලකායන් ඇතුළු දෙරටෙහි ආරක්ෂක හමුදාවන් අතර වර්ධනය වන සහයෝගීතාවය, සහෝදරත්වය සහ මිත්‍රත්වය පිළිඹිබු කරන්නකි.

යන්ත්‍රෝපකරණ කොටස් නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් විනෝද් ජේකබ් මහතා විසින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ගෙව්මන් ඒකනායක මහතා වෙත අද (29) දින ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ වරුණ කඳවුරේදී සංවිධානය කර තිබූ උත්සවයකදී නිල වශයෙන් බාර දෙන ලදී.


මෙම අමතර කොටස් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සතු එකම ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් මුහුදේ සිදු කරනු ලබන මුර සංචාර සහ නිරීක්ෂණ කටයුතුවල ප්‍රධානතම නෞකාව වන SLCGS සුරක්ෂා නෞකාව දීර්ඝ කාලයක් භාවිතා කිරීමට අවස්ථාව ලබා දෙනු ඇත.

මෙම අමතර කොටස් තොගයට ප්‍රධාන යන්ත්‍රෝපකරණ අමතර කොටස්, ඊෂාව සහ ගියර් පෙට්ටිය යනාදිය අයත් විය. අළුත්වැඩියා කටයුතු කඩිනම් කිරීමට, මුහුදු යෑමේ හැකියාව වැඩි දියුණු කිරීමට සහ නැවේ සමස්ත ජීවන චක්‍රය ඉහළ නැංවීමට මෙම අමතර කොටස් ඉවහල් වනු ඇත.

පසුගිය 22 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය අතර පැවති ඉහළ මට්ටමේ හමුවකදී සමුද්‍රීය ආරක්ෂාව සහ ධාරිතාවයන් ගොඩනැගීම යන ක්ෂේත්‍රය සඳහා ඉන්දියාවේ සම්පූර්ණ සහයෝගය අවධාරණය කරන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙය කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය (SAGAR) යන ඉන්දියාවේ දැක්ම සහ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය හා සමපාත වන අතර ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ රටවල ධාරිතාවයන් ගොඩනැගීමේ ප්‍රයත්නයන්ට ද දායකත්වය ලබා දේ.

Exit mobile version