ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාව ඇදගෙන යන්නේ මොන ආකාරයක අගාධයකටදැයි වැටහෙන්නේ නැත. කිසිම හිරිකිතයකින් තොරව ක්‍රීඩාවේ ජීව ගුණය වළ දමා පිච් එක මැදට යුද්ධය රැගෙන පැමිණි කාලකණ්ණි ජාතියක් අත මහත්වරුන්ගේ ක්‍රීඩාවේ පැවැත්ම තීන්දු වෙනවා නම් ඒ ක්‍රීඩාව පවතිනවාට වඩා වඳවී යෑම ලෝකයට හොඳය. ක්‍රීඩාවේ ජීව ගුණය, පමණක් නොව පරමාර්ථ සහ අභිලාෂයන් ද මේ තරම් පාදඩ විදිහට වළ දැමු අවස්ථාවක් ගැන මතකයට නැගෙන්නේ නැත.
ඊයේ ඩුබායි හි පැවති ආසියානු කුසලාන අවසන් මහා තරගයට වසර 41කට පසු ඉන්දියාව සහ පකිස්ථානය තරග වැදුනේය. ඉන්දියාව කඩුලු 05කින් ජය ගත්තේය. පකිස්ථානය සමග පැවති පළමු තරගයේ ජයග්‍රහණයෙන් අනතුරුව ඉන්දියාවේ සන්නද්ධ හමුදාවටන්ට එම ජයග්‍රහණය පූජා කළ ඉන්දීය නායකයා පකිසථාන කණ්ඩායමට අතට අත දීම මුල සිටම ප්‍රතික්ෂේප කළේය. කාසියේ වාසිය උරගා බැලූ අවස්ථාවේදීවත් අතට අත දුන්නේ නැත.
ඒ කාලකණ්ණි ස්ථාවරය ඉන්දියානු ක්‍රීඩකයෝ දිගටම පවත්වාගෙන ගියා පමණක් නොව අවසන් මහා තරගයේ කුසලානය ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළහ. හේතුව ලෙස දැක්වූයේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි පකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මෙන්ම පකිස්ථානයේ අභයන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමය.

තරගය ඩුබායි වේලාවෙන් රාත්‍රී 10.30 ට පමණ අවසන් වූයේය. නමුත් ත්‍යාග ප්‍රධානෝත්සවය වටහාගත නොහැකි ලෙස කල් ගියේය. තරගය අවසන් වූ පසු, ඉන්දීය ක්‍රීඩකයින් පිටියේ රැඳී සිටියදී පාකිස්තාන ක්‍රීඩකයින් පිටියෙන් ඉවත් වී ඩ්‍රෙසින් රූම් එකට ගියහ. සම්මාන ප්‍රදානෝත්සවය සඳහා උත්සවය සඳහා වේදිකාව දිගු වේලාවක් සකසා නොතිබුණි.
එම කල්මැරීම මධ්‍යම රාත්‍රිය තෙක්ම පැවතිනි. මේ දිගු ප්‍රමාදයට හේතුව මුලදී පැහැදිලි නොවීය. නමුත් අවසානයේ දී දැනගන්නට ලැබුණේ ඉන්දීය කණ්ඩායම නක්විගෙන් කුසලානය ලබා ගැනීමට අකමැති වීමය.
සෙනසුරාදා ආසියානු ක්‍රිකට් කවුන්සිල වෙබ් අඩවිය නිවේදනය කළේ ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි ජයග්‍රාහකයින්ට කුසලානය ප්‍රදානයට අදහස් කරන බවය. ඒ අවස්ථාවේ සිට මෙවැනි තත්ත්වයක් ඇතිවනු ඇතැයි උපකල්පනය කර තිබිණි.
ත්‍යාග ප්‍රධානෝත්සවය ප්‍රමාද වී ඇරඹිනි. කුල්දීප් යාදව්, අභිෂේක් ෂර්මා සහ තිලක් වර්මා වේදිකාවේ සිටි අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගෙන් ඔවුන්ගේ තනි සම්මාන ලබා ගත්හ. ඒ අවස්ථාවේ වේදිකාවේ සිටි නක්වි අත්පොලසන් දුන්නේ නැත.
පකිස්ථාන නායක සල්මන් ආඝා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි ගෙන් අනුශූරතා චෙක්පත පිළිගත්තේය. කුසාලනය ඔහුගෙන් පිළිගැනීම ඉන්දියාව ප්‍රතික්ෂේප කළ පසුව උත්සවය අවසන් විය.
“අද රාත්‍රියේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ සම්මාන ලබා නොගන්නා බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් මට දන්වා තිබෙනවා. එබැවින් තරඟයේ සම්මාන ප්‍රධානෝත්සවය නිමා කරනවා.” සම්මාන ප්‍රදානෝත්සවයේ නිවේදකයා වූ සයිමන් ඩූල් පැවසීය. ”
සම්මාන ප්‍රදානෝත්සවයේ දි කුසලානය ලබා නොගත් ඉන්දීය කණ්ඩායමට සම්මාන උළෙලින් පසුව එය ලැබුණේ නැත. “ අපි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාගෙන් ආසියානු කුසලානය ලබා නොගැනීමට තීරණය කළා. මොකද ඔහු පාකිස්තානයේ ප්‍රධාන නායකයෙක්”
“ නමුත් එයින් අදහස් කරන්නේ නෑ පදක්කම් සමඟ කුසලානය ඔහුට රැගෙන යන්නට දෙන බව. එබැවින් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. ආසියානු කුසලානය සහ පදක්කම් හැකි ඉක්මනින් ඉන්දියාවට ආපසු ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”. ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ලේකම් දේවජිත් සයිකියා Asian News International පුවත් ඒජන්සිය වෙත පවසා තිබිණි.
“නොවැම්බර් මාසයේදී ඩුබායි හි ICC සමුළුවක් තිබෙනවා. “ඊළඟ සමුළුවේදී, අපි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාගේ ක්‍රියාවට එරෙහිව ඉතා බැරෑරුම් සහ ඉතා දැඩි විරෝධතාවක් දියත් කරනවා.” ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා පවසා තිබිණි.
ෙපසුව පැවති මාධ්‍ය හමුවේදී ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පැවසුවේ තමා මෙවැනි දෙයක් දැක නැති බවය. “මම හිතන්නේ මම ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත් දා සිට, ක්‍රිකට් අනුගමනය කිරීමට පටන් ගත් දා සිට මම කවදාවත් දැක නැති දෙයක් තමයි ශූරතාවය දිනූ කණ්ඩායමකට කුසලානයක් අහිමි වීම. එයත් මහන්සියෙන් උපයාගත් කුසලානයක්. මට හැඟෙන්නේ අපි එයට සුදුසුයි කියලා. මට තවත් කිසිවක් කියන්න බැහැ, මම එය හොඳින් සාරාංශ කර කිව්වා. ඔබ මට කුසලාන ගැන මට කිව්වොත්, මගේ කුසලාන ඩ්‍රෙසින් රූම් එකේ වාඩි වී සිටිනවා. මා සමඟ සිටින 14 දෙනාම, සහායක කාර්ය මණ්ඩලය… ඔවුන් තමයි ආසියානු කුසලානයේ මේ ගමන පුරාම පැමිණි සැබෑ කුසලාන.” සූර්යකුමාර් පැවසුවේය.
කුසලානය ලබා නොගත් ඉන්දියානු කණ්ඩායමට ආසියානු කුසලාන සැමරුම සඳහා කුසලානයක් තිබුණේ නැත. සැබෑ කුසලානයක් නොපෙනෙන බැවින්, සූර්යකුමාර් සහ කණ්ඩායමේ සෙසු අය ඔවුන්ගේ සැමරුම්වල කොටසක් ලෙස මනඃකල්පිත කුසලානයක් ඔසවන අභිනය පෙන්වනු ලැබූහ.
මේ ක්‍රිකට් නම් ඇත්තටම ලෝකයට ක්‍රිකට් ඇතිය. යුද්ධයක් පවත්වාගෙන යෑමට, වෛරය යාවත්කාලීන කරගැනීමට, යුද්ධයේ ප්‍රකාශන ක්‍රීඩාව හරහා ජනගත කිරීමට දරන මේ නින්දිත උත්සාහයන් ක්‍රීඩාවේ නාමයෙන් වැළකී යා යුතුය. මක්නිසාද යත් යුද්ධය පවතින්නේ අපායේය. ක්‍රීඩාවේ උත්තම සංකල්ප වැඩ සිටින්නේ දෙවිවරුන්ගේ හදවත් තුළය.







