ඇමේසන් වනයේ ස්වදේශිකයන් රැකගන්න කොවිඩ් එක්ක යුද වදින වැන්ඩා

ගෝත්‍රික පවුල් 700ක් රැක ගන්න අනවරත අරගලයක යෙදෙන ඇමේසන් වනයේ හෙදියගේ කතාව

වැන්ඩලීසියා ඕටෙගා ඩොස් සන්තෝස්

සදෙව් රත්නායක –

පිරටපුයා ගෝත්‍රයට අයත් විසෙන්ටේ පිරටුපුයාට අධික ලෙස උණ වැලඳී තිබුණා.  හුස්ම ගැනීමටත් අපහසු වුණා. ඒත් 69 හැවිරිදි මේ මහළු මිනිසා ඔහුගේ නිවහන පිහිටි ඇමසන් වැසි වනාන්තරය හැරයාම තරයේම ප්‍රතික්ෂේප කළා. එක්තරා හෙදියක් ඔහුට කිට්ටු වුණා. හැකි ඉක්මනින් රෝහලට නොගියා නම් මරණය නිසැක බව ඔහුට ඒත්තු ගැන්වීමට එම ගෝත්‍රයටම අයත් එම පුහුණු හෙදියට ඔහුට නොසෑහෙන්න බැණ වදින්නට පවා සිදුවුණා.

ඇය වැන්ඩලීසියා ඕටෙගා ඩොස් සන්තෝස්, එසේත් නැතිනම් ඇගේ අසල්වාසීන්ට අනුව ‘වැන්ඩා‘.

බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තරයේ පවුල් 700ක ගෝත්‍රික ජන සමූහයක් වන ඉන්ඩිජෙනස් ස්වදේශීක ජනවාර්ගිකයන් කොවිඩි වසංගතයෙන් මුදවා ගැනීමට ඇයට ස්වේච්ඡාවෙන් වැඩ කරන්නටයි සිදුවෙලා තිබුණේ. තම ආදි වාසී ප්‍රජාව මේ මාරක වසංගතයෙන් රැක ගැනීම වැන්ඩාගේ එකම හීනය බවටත් පත්වුණා.


එකිනෙකට වෙනස් ගෝත්‍රික ජන සමූහ 35ක් පමණ ජීවත්වෙන ඇමසන් වැසි වනාන්තරයේ බ්‍රසීලයේ කොවිඩ් වසංගතයේ තෝතැන්නක් බවට  පත්වීමේ ලකුණු පහළ වෙමින් තිබුණා. ඇරත් මේ තත්ත්වය නිසා බ්‍රසීල ආදි වාසීන් සදහටම වඳ වී යාමේ අවදානමකුත් ඇතැයි එරට රජය අනතුරු අඟවා තිබුණා.

වැන්ඩා සිය ගෝත්‍රික ප්‍රජාව රැක ගැනීමේ හුදෙකලා සටන ආරම්භ කරන්නේ එවැනි පසුබිමකයි. ග්‍රාමීය පරිසරයකට හුරුපුරුදුව සිටියත්, වාරිමාර්ග සහ විදුලිය එහි බොහෝ නිවාසවලට තිබුණේ නෑ. කොවිඩ් වසංගතයෙන් බරපතළ ලෙස රෝගාතූර වූවන් රැගෙන යාමට එහි පැමිණීම පවා ගිලන්රථ නිරන්තරයෙන්ම ප්‍රතික්ෂේප කරන තත්ත්වයකුයි තිබුණේ. මහජන සෞඛ්‍ය සායන නම් පැත්ත පළාතෙවත් තිබුණේ නෑ.

මාරක වෛරසය බ්‍රසීලය පුරා පැතිරෙන්නට පටන් ගෙන ඇති නිසා නගරවලත්, ගම්වලත් ඒ අවට වෙසෙන ආදිවාසීන්ගෙත් ජීවිත භයානක ඉරණමකට ගොදුරු වෙමින් තිබුණා. මේ වසංගතය නිසා ස්වදේශීක මරණ කිහිපයකුත් වාර්තා වුණා. නමුත් නාගරික පළාත්වල සිදුවන මරණ සංඛ්‍යාව ගණනය කළොත් අවම වශයෙන් ආදිවාසී ජීවිත විස්සකට වැඩිය මේ වනවිටත් අහිමිවී ඇතැයි ඇතැම් වාර්තා මගින් පෙන්වා දුන්නා. ඒත් නිවැරැදි දත්ත කවුරුවත් දැන සිටියේ නෑ.

‘අපේ ජනතාව කොවිඩ් වසංගතයෙන් මිය යමින් සිටින්නේ. ඔවුන්ට කිසිම පහසුකමක් ලැබී නෑ.‘ කොලොම්බියා දේශ සීමාවේ පිහිටි ඇමසන් නදියේ ඉහළ කෙළවරේ පදිංචිව සිටින මේ පිරටපුයා ගෝත්‍රයට අයත් 32 හැවිරිදි වැන්ඩා එසේ කියනවා.

32 හැවිරිදි වැන්ඩා උපන්නේ ඇමසන් නදිය අසබඩ පිහිටි අමතුරා ගම්මානයේ. ඇය හෙදියක ලෙස පුහුණුව ආරම්භ කළේ මීට අවුරුදු දහයකට පෙරයි. ඇයට ඊට පෙර නාගරික පළාතක සමේ පිළිකා රෝගයෙන් පීඩා විඳින පුද්ගලයන්ගේ ආවතේව කිරීමේ අවස්ථාවක් ලැබී තිබුණා. ඉන් පන්නරය ලැබූ ඇය නිරතව සිටින්නේ  දැන් තම ගෝත්‍රය කොවිඩ් වසංගතයෙන් මුදවා ගැනීමේ සටනකයි.

ඇය සටන ආරම්භ කළේ වසංගතයේ පැතිරීම ආරම්භ වීමත් සමගයි. ඇය පළමුව කළේ වට්ස්ඇප් කණ්ඩායමක් හරහා කොවිඩ් රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් සොයා ගැනීමයි. සති කිිහිපයකින් ඇය තම ගෝත්‍රිකයන් අතර කොවිඩ් වසංගතය ආසාදනය වූ රෝගීන් 40ක් පමණ නිරීක්ෂණය කළා. ගිලන් රථ සොයා ගත නොහැකි නිසා ඇය මේ රෝගීන් රෝහල් කරා යොමු කළේ කුලියට ගත් පැරැණි මෝටර් රථයකින්.

වැන්ඩා සිය රෝගීන්ට වේදනා නාශක පෙති සහ අනිකුත් මූලික ඖෂධ ලබා දුන්නා. ඒ වගේම වෛරසය බෝවීම වළක්වාගැනීමට වුවමනා කරන උපදෙස් ටිකකුත් දුන්නා. ඇය එවැනි රෝගීන් සිටින නිවාසවලට (සැබැවින්ම ඒවා පැල්පත්) ඇතුළු වුණේ ආරක්ෂිත කබායක්, අත්වැසුම් හා මුව ආවරණ සහිතවයි. සමහර වෙලාවට බ්‍රසීල ගෝත්‍රිකයන්ට ආවේනික මැකෝ කුරුල්ලන්ගේ පිහාටුවලින් සකස් කළ සම්ප්‍රදායික හිස්වැසුමකුත් පාවිච්චි කළා.

‘කුසගින්න මේ අහිංසක මිනිස්සුන් සොයා ආවේ වෛරසයටත් කළිනුයි. ‘ වැන්ඩා කියනවා. සමාජ දුරස්ථභාවය කොවිඩ් වසංගතය වළක්වාගැනීමට උපකාරි වුණත් එවැනි ක්‍රමවේද ගැන ගෝත්‍රිකයන් සැළකිල්ලක් දැක්වූයේ නෑ. ගෘහ සේවිකාවන් විදියට රැකියාව කරන ගැහැනුන් වගේම කම්කරුවන් විදියට රැකියාවේ නිරතව සිටින පිරිමින්ටත් සමාජ දුරස්ථභාවය කියන්නේ ඔවුන්ගේ ආදායම් මාර්ග අවහිර වීමක්.

‘අපිට මහජන ආධාර නොලැබුණු නිසා ආහාර හා සනීපාරක්ෂක කට්ටල පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් මම සමාජ මාධ්‍ය ඔස්සේ පටන් ගත්තා.‘ වැන්ඩා ඉන් නොනැවතී  සිය ප්‍රජාවට අවශ්‍ය මුව ආවරණ මැසීමට කාන්තාවන් කිහිපදෙනක් සිය මවගේ නිවසට ගෙන්වා ගත්තා. එමගින් එක් මහන මැෂිමකින් දිනකට මුව ආවරණ 30ක් පමණ මසා නිම කිරීමට හැකිවුණා.

වැන්ඩාගේ ගෝත්‍රික ප්‍රජාව පදිංචිව සිටි පළාතේ ප්‍රධානතම නගරය වූයේ මනුස් නගරයයි. වතාවක් බ්‍රසීලයේ සෞඛ්‍ය ඇමැතිවරයා මේ නගරයේ පිහිටි රෝහල කරා පැමිණියා. ඒ මොහොතේ වැන්ඩා තම ප්‍රජාවට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ඉල්ලා තවත් කාන්තාවන් පිරිසක් සමග රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා. ‘ස්වදේශිකයන්ගේ ජීවිතවල වටිනාකම‘ ඔවුන්ගේ සටන්පාඨය වුණා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විරෝධතාව සාර්ථක වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස රෝහල් පරිශ්‍රය අසළ ස්වදේශිකයන් වෙනුවෙන් වෙනම වාට්ටුවක් ස්ථාපිත කරන්න රෝහල් බලධාරින් පොරොන්දු වුණා. මේ දිරිය කාන්තාවගේ ඉලක්කය ස්වදේශිකයන් කොවිඩ් වසංගතයෙන් මුදවා ගැනීම පමණක් නොවේ. ඇගේ සිහිනය බ්‍රසීලය තුළ ඔවුන්ට වටිනාකමක් ලබාදී පොදු පහසුකම් සියල්ල සපුරාලීමයි.

Exit mobile version